Main Logo

Thursday 2 September 2021

පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අතර

 

පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අතර

 

මා මිත්‍ර ජී එල් පීරිස්ට ලංකාවේ බිෂොප් සභාව තහනම් නියෝගයක් පණවලා. කාදිනල්තුමා හමුවන්න දැන් ම බැහැ කියල. කාදිනල්තුමා හමුවන්න නම් පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂණ කටයුතු ඉක්මන් කරන්න කියන එක තමයි බිෂොප් සභාව ඉල්ලා සිටින්නේ. බිෂොප් සභාව ඔය ඉක්මන් කරන්න කියන්නෙ ඇතැම් වදකරුවන් නිදහස් කරන්න ද? අද අවශ්‍ය පූර්ණ පරීක්‍ෂණයක්.  ඒ අතර ජී එල් පීරිස් ලංකාවේ වතිකානු නියෝජිත පූජකතුමා හමුවෙලා. එතුමා ඇමතිතුමාට කොන්දේසි පණවල නැහැ.

 

ජී එල් පීරිස් වතිකානු නියෝජිත පූජකතුමා හමුවෙලා තියෙන්නෙ විදේශ ඇමති හැටියට. එහි දී නියෝජිත පූජකතුමා හොඳ කතාවක් කියල තියෙනවා. එතුමා කියල ලංකාවෙ කතෝලිකයන් ඉන්නෙ සුළු ප්‍රමාණයක් වුණත් ඔවුන්ට වැදගත් තැනක් හිමි වෙන බවත් ලෝකයේ වෙනත් බොහෝ රටවල එවැනි තත්වයක් දකින්නට නැති බවත්. ඒ ප්‍රකාශය මෙරට ඉන්න ඊනියා මානව හිමිකම් අයිතිකරුවන්, විශේෂයෙන් කතෝලික අයිිතිකරුවන් දැක්ක ද දන්නෙ නැහැ. අමුතුවෙන් සමබිම් ගැන කතා කරන්න අවශ්‍ය නැති බවයි වතිකානු නියෝජිත පූජකතුමා කියා ඇත්තෙ.

 

ඒත් ඇතැම් කතෝලිකයන් තවමත් හිතන් ඉන්නෙ තමන් රෝමයේ නියෝජිතයන් කියා. ඔවුන් අර වතිකානු නියෝජිත පූජකතුමා හමුවෙනව නම් හොඳයි. මා කුඩා කල සිට මෙරට කතෝලික පූජක සභාව දැක්කෙ මෙරටට අයිති නොවන ආයතනයක් ලෙස. ඔවුන්ගේ බටහිර ගැති ප්‍රකාශ එදා සිට ම මා බැහැර කළා. මැතිවරණවල දී කතෝලිකයන් බටහිර ගැති එ ජා පක්‍ෂයට ඡන්දය දෙන්න පෙළඹුණා. පූජක නොවන කතෝලිකයන් බොහෝමයක් දැන් රෝමානු කතෝලිකයන් හැටියට නොව සිංහල කතෝලිකයන් හැටියට හිතන්න පුරුදු වෙලා. එය හොඳ ප්‍රවණතාවක්.

 

ඒත් පූජක සභාව තවමත් බටහිරයන්ට අවශ්‍ය අන්දමට කටයුතු කරන විදේශීය ආයතනයක් වගේ. විදේශ ඇමති ජී එල් පීරිස් කාදිනල්තුමා හමුවීමට සිතුවේ විදේශ ආයතනයක නියෝජිතිකයකු හමුවන ලෙස කියා මා හිතන්නේ නැහැ. ඒත් පසුගිය දශක කිහිපයේ ම කතෝලික පූජක සභාව ක්‍රියා කර ඇත්තේ මෙරට ආයතනයක් ලෙස නොවන බවයි මගේ නිරීක්‍ෂණය. ඔවුන් දෙමළ ජාතිවාදී කතෝලික පූජකවරුන් ආරක්‍ෂා කළා. කතෝලික පූජකවරුන් ඊනියා සිංහල බෞද්ධ යැයි එකල කියා ගත් ඒ උරුමය වෙනුවෙන් වැඩ කළ අයකුත් ආරක්‍ෂා කළා. ඔහුට පූජක ලෝගුව ඇන්දූ බවත් කියනවා. බලය ලබා ගැනීම හැර වෙනත් කිසි ප්‍රතිපත්තියක් නැති ඔහුත් පාස්කු ප්‍රහාරය ගැන කියවනවා.

 

කතෝලික පූජක සභාවට පාස්කු ප්‍රහාරය ගැන ඇතිවෙලා තියෙන උනන්දුව හොඳයි. ඒත් ඒ උනන්දුව 2018 අප්‍රේල් මාසයේ සිට මෑතක් වන තුරු තිබුණේ නැහැ. විශේෂයෙන් ම යහපාලන කාලයේ තිබුණේ නැහැ. මා දකින ආකාරයට පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර වැඩක්. එය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සහභාගි වී තියෙනවා. ඔවුන්ට එසේ ක්‍රියා කිරීමට හැකි වූයේ ඒ වන විට යහපාලන ආණ්ඩුව මෙරට බුද්ධි අංශ දුර්වල කර තිබූ බැවින්.

 

කතෝලික පූජක සභාව යහපාලන ආණ්ඩුව මෙරට බුද්ධි අංශ දුර්වල කිරීම හා ඇතැම් බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ප්‍රකාශ නිකුත් කර තිබෙනවා ද? ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වා තියෙනවා ද? පාස්කු ප්‍රහාරය නැවැත්වීමට නොහැකි වූයේ දේශීය වශයෙන් ගත් කල යහපාලන ආණ්ඩුව මෙරට බුද්ධි අංශ දුර්වල කර තිබූ නිසයි. පාස්කු ප්‍රහාරයට එබැවින් යහපාලන ආණ්ඩුව ද වග කියන්න ඕන. ඒත් යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිටුපස හිටියා කියා මා කියන්නේ නැහැ.

 

එක් අතකින් බලන විට යහපාලන ආණ්ඩුව බුද්ධි අංශ අඩපණ කරද්දී නිෂ්ශබ්ද ව සිටීම නිසා කතෝලික පූජක සභාවටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ව වක්‍ර ව හරි ගෑවිලා තියෙනවා. මා එය චෝදනාවක් හැටියට කරනවා නො වෙයි. පූජක සභාවේ ඇතැමුන් මේ ආණ්ඩුවෙන් මස් රාත්තල ම ඉල්ලන ෂයිලොක්ලා වෙලා ඉන්නෙ කා වෙනුවෙන් ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. ඒ යුදෙව්වන් වෙනුවෙන් ද, ඊශ්‍රායලය වෙනුවෙන් ද කියා අහන්න සිද්ධ වෙන්නෙ කතෝලික පූජක සභාව යුදෙව් පිළිවෙතක් අනුගමනය කරන බැවින්.  නාට්‍යයේ දී නම් ෂේක්ස්පියර්  අවසානයේ දී ෂයිලොක් ක්‍රිස්තියානි කරනවා. ඒත් මට පේන හැටියට ලංකාවේ කතෝලික පූජක සභාව ෂයිලොක් ලොක්ඩවුන් කරගෙන. ඔහුට ක්‍රිස්තියානි වෙන්න බැහැ.

 

යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු 2010 මැතිවරණවලින් විශිෂ්ට ජය ලබා කළ යුතු දේ නොකළ නිසා මිස ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කෙනකු නිසා නො වෙයි. යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමේ දී බටහිරයන් ද යම් කාර්යයක් කළ බව පැහැදිලියි. ඒ බව 2018 සිද්ධිවලින් පැහැදිලි වුණා. බටහිර තානාපති කාර්යාලවල අය එදා පාර්ලිමේන්තු ඇවිත් නැටූ නාඩගම කවුරුත් දැක්කා. යහපාලන ආණ්ඩුව කියන්නේ බටහිරයන් සඳහා බටහිරයන් විසින් තනා ගත් බටහිරයන්ගෙ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව මෙරට බුද්ධි අංශ දුර්වල කෙළෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවට ද?

 

සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ජාතිවාදය ඇති කෙළෙත් දෙමළ ත්‍රස්තවාදයට ආධාර කෙළෙත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්. ඔවුන්ට නන්දිකඩාල් පරාජය දරා ගන්න බැහැ. නන්දිකඩාල් පරාජය තවමත් හිතේ තියෙන්නෙ බටහිරයන්ගෙ. ඔවුන්ට එතැනින් ඉවත් වෙන්න බැහැ. එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් ලංකාවට ඇවිත් කළ කී දේ අමුතුවෙන් කියන්න ඕන නැහැ. බටහිරයන් දන්නවා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී බුද්ධි අංශ ඉටු කළ කාර්යය.

 

බුද්ධි අංශ දුරවල කළ යහපාලන ආණ්ඩුවට ( අද නම් එ ජා ප, ස ජ බ, ජ වි පෙ, දෙ ජා ස, 43 සේනාංකය, මුස්ලිම් කොංග්‍රසය (හකීම්ලා මෙන් ම බද්‍යුද්දීන්ලාත්)) සහ ඔවුන්ට සහාය දුන් ආවැඩූ රාජ්‍ය නොවන සංවිධානවලට  බුද්ධි අංශ දුර්වල කරද්දී හ්ම් නොකී විවිධ සභාවලට අද පාස්කු ප්‍රහාරය ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක් ද? ඔවුන් සියල්ලන් ම පාස්කු ප්‍රහාරයට යම් පමණකින් හරි ගෑවිලා තියෙනවා.