LPL වැනි කාන්තා T20 ලීග් තරගාවලියක්

1081
Women's T20 League

ලංකන් ප්‍රිමියර් ලීගය වැනි Franchise-based කාන්තා ලීග් ක්‍රිකට් තරගාවලියක් මෙරට දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා කළමනාකරණ/ අලෙවි නියෝජිතායතනවලින් ලංසු කැඳවීමට තීරණය කර තිබෙනවා. 

තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරන අතර 2022 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරග නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් දැන්වීමට අනුව, තරගාවලිය සඳහා කණ්ඩායම් 4ක් සහභාගී වන අතර සෑම කණ්ඩායමක් ම ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත වනවා. 

ICC සාමාජිකත්වය දරණ විදෙස් කණ්ඩායම්වලින් උපරිම ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සංචිතය සඳහා ඇතුළත් කර ගත හැකි. තරගාවලියේ පැවැත්වීමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 13ක්. තරගාවලිය දඹුල්ලේ හෝ පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

2020 වසරේ මාර්තු මාසයේ දී පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගී වී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වා ඇත්තේ ද එක් කාන්තා දේශීය පළමු කාණ්ඩයේ තරගාවලියක් පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<