අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රශ්නය තමන්ගේ වූ කල එය අතිශයෙන් දාර්ශනික වේ

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 29, 2021

වැරදි පිළිතුර සොයාගැනීම වෙනුවෙන් කියා වෙහෙසෙන අයෙක්ව ඔබ දැක ඇත්ද? නැත්නම්, ඔබ දැක ඇත්තේ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර සොයාගන්නට වෙහෙසෙන අයව ද? ප්‍රශ්නයක් යනු නිවැරදි පිළිතුරක් සොයන්නකි. සමහර අවස්ථාවල දී නිවැරදි පිළිතුර වහාම සොයාගත යුතුයි. එවැනි අවස්ථාවක, එනම් පිළිතුර වහාම සොයාගත යුතු ප්‍රශ්නය නිරාකරණයට තොරතුරු දැනගැනීමට නොහැකි වෙද්දී අයෙකු කරන්නේ තමන් වඩාත්ම නිවැරදි යැයි දකින තොරතුරුවලින් ඒ සඳහා ආසන්නම වූ නිවැරදි පිළිතුරක් සපයා ගැනීමයි.

සමහර ප්‍රශ්න සඳහා වහාම පිළිතුරු සොයාගැනීමට ඉක්මන් විය යුතු නැත. එහි දී තවත් තොරතුරු එකතු කරගැනීමට කාලයක් ඇත.

දැන් විසඳා ගත්ත ද, පසු කාලයක දී විසඳා ගත්ත ද, දාර්ශනික නොවන ලෙසකින් එළඹෙන පිළිතුරක් නිවැරදි විය නොහැකියි. ඒ ඔබ සොයාගත් නිවැරදි පිළිතුර දාර්ශනික ප්‍රවේශයකින් එළඹෙන ලද පිළිතුරක් බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. ඒ මිනිස් සිත යනු මිනිසාට දායාද වූ අපූරු මෙවලමක් නිසයි. තර්කානුකූල විචාරයක්, එකිනෙකට පටහැනි වූ දේවල් හඳුනාගත හැකියාවක්, හෘදය සාක්ෂියක් සහ යථාර්ථය කුමක්දැයි කියා වටහාගත හැකියාවක් මිනිසාට ස්වභාවයෙන්ම පිහිටා ඇත.

මිනිසාට ස්වභාවයෙන්ම විවිධාකාර ප්‍රශ්න සිහියට නැඟේ. ඒවා මහත් සේ සිතා බලා අහන ප්‍රශ්න පමණක්ම නොවේ. කුඩා දරුවන් පවා අපූරු ප්‍රශ්න නඟති. ඒවාට පිළිතුරු සොයති.

දර්ශනය යනු පිළිතුරු ගැන නොව ප්‍රශ්න ගැන වැඩියෙන් අවධානයක් යොමු කරන ක්ෂේත්‍රයක් හැටියට සැලකේ. එයාකාර සැලකිල්ලක් සමාජයේ පැතිර පවතින බවක් දකින්නට ලැබෙන්නේ සරල සහ පහසුවෙන් වටහා ගත නොහැකි ප්‍රශ්න ගැන වැඩි දුරට විමසා බලන පිරිස දාර්ශනිකයන් වූ නිසයි.

ඒත් දාර්ශනික ප්‍රවේශය යනු කිසිදු හැඟීමක් නොමැතිව, පැත්තක සිට ප්‍රශ්නයක් දිහා බැලීමක් නොවේ. දාර්ශනිකයා සිතන ආකාරය ගැන සිතන්නෙකි. ලෝකය ගැන සිතන විදිය ගැන සිතන්නෙකි. අප ගැන අපි වටහාගන්නේ කෙසේදැයි කියා සිතන්නෙකි. හරි වැරදි ගැන අප දැනගන්නේ කෙසේදැයි කියා සිතන්නෙකි.

පුරාතන ග්‍රීසියෙන් පටන්ගත් බටහිර දර්ශනය විශේෂයෙන්ම තමන්ගේ වූ දුෂ්කරතම ගැටළු සඳහා පිළිතුරු සොයාගැනීමට නිවැරදි මඟ පෙන්වන්නකි.

“ජොගින්” යන වචනය ජනප්‍රිය මේ දිනවල එයින් උදාහරණයක් ගෙන මෙය පැහැදිලි කරන්නට වෑයම් කරන්නම්. අප බොහෝ විට මිනිසුන් කරන දේ පැහැදිලි කරන්නේ ඔවුන්ගේ අවසන් ඉලක්කය අනුවයි. අහවලා ඇයගේ නිරෝගීබව වෙනුවෙන් ජොගින් කරනවා යැයි ඔබට අහන්නට ලැබී ඇත්ද? ජොගින් වලින් නිරෝගීබව ලැබෙනවා යැයි සහතික කරන්නට පුලුවන් ද? එනම් අනාගතයේ බලාපොරොත්තුවන නිරෝගීබව දැන් කරන ජොගින් වලින් ඇතිවෙන්නේ කෙසේද? සමහර විට ඇයට ඒ අනාගත නිරෝගීබව කිසිසේත්ම සාක්ෂාත් කරගන්නට ඉඩක් නොලැබීමට ඉඩ ඇත. ජොගින් කිරීම නිසා ඇය විඩාවට පත්ව ඇදවැටීම නිසා ඇයගේ අනාගත නිරෝගීබව කිසිදාක සාක්ෂාත් නොවන්නට ද ඉඩ ඇත.

අප සිතන ආකාරයේ ඇති දෝෂ අවබෝධ කරගන්නට දර්ශනයෙන් අපිට මඟපෙන්වයි. එබැවින් ප්‍රශ්නය තමන්ගේ වූ කල එය අතිශයෙන් දාර්ශනික වේ.

“ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකය” යන ෆේස්බුක් හි මහත් සෙයින් දකින්නට ලැබෙන කියමන, දර්ශනය ගැන (විශේෂයෙන්ම බටහිර දර්ශනය) එතරම් අවබෝධයක් නැති අයෙකු විසින් ලියන ලද්දක් බව පෙනී යයි.

සමාජය ගැන අතිමහත් කැක්කුමක් ඇතැයි පෙන්වන්නට දැඩි සේ වෙහෙසෙන අය පවා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල දී පැන නඟින ප්‍රශ්න සඳහා සොයාගත් පිළිතුරු පැහැදිලිවම දාර්ශනික වෙති.

ප්‍රශ්නයක් හැකි තරම් පැහැදිලි කරගන්නට සහාය වෙන්නේ දර්ශනයයි. විසංවාදී හෝ පරස්පර විරෝධී (එකිනෙකට පටහැනි) වූවක් හඳුනාගන්නට සහාය වෙන්නේ දර්ශනයයි. එවැන්නක් කිසිසෙත්ම සත්‍යයක් විය නොහැකියි. උදාහරණයක් හැටියට “මේ වාක්‍යය ලියා ඇත්තේ සිංහලෙන් සහ සිංහලෙන් නොවේ” යන්න සත්‍යය වාක්‍යයක් නොවේ.

පිළිතුරු සොයන පුද්ගලයා විසංවාදයෙන් අයින් විය යුතුයි. විසංවාදී විශ්වාසයන්හි එල්බ ගත් පුද්ගලයාට ලැබෙන්නේ වැරදි විශ්වාසයන් වෙති.

තමන් සොයා යන පිළිතුර සඳහා තමන් විසින්ම කරන තර්කයන්හි ඇති අඩුපාඩු දැනගන්නට ලැබෙන්නේ දර්ශනයෙනි.

අනුන්ගේ ප්‍රශ්න ගැන කෙසේ වෙතත්, තමන්ගේ ප්‍රශ්න ගැන වැඩියෙන් දාර්ශනික ලෙසින් සිතන්නට වෑයමක් ගන්නේ නම් බොහෝ ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු පහසුවෙන් සොයාගත හැකියාව වර්ධනය කරගන්නට කෙනෙකුට පුළුවනි. තර්කානුකූලව සිතන්නට, හරි වැරදි ගැන කොඳුරන හෘදය සාක්ෂියට සවන් දෙන්නට, යථාර්ථයේ ස්වභාවය පිළිගන්නට හැකි මනසක් ස්වභාවයෙන්ම දායද වී තිබෙන මිනිසා ප්‍රශ්නය තමන්ගේ වූ කල එයට නිවැරදි පිළිතුර සොයාගන්නට නම් දාර්ශනික ප්‍රවේශයකටම පිවිසිය යුතුයි.

6 Responses

Subscribe to comments with RSS.

  1. naveensandeepa said, on ඔක්තෝබර් 1, 2021 at 12:28 පෙ.ව.

    දර්ශන පිළිබඳ තව දැනගන්න කැමැත්තෙමි

  2. naveensandeepa said, on ඔක්තෝබර් 1, 2021 at 5:11 පෙ.ව.

    සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ තමාට ප්‍රශ්නයක් පැමිණි විට කලබල වීම, හැඟීම් බර වීම, අතාර්කික, හැඟුම්බර තීරණ ගැනීමයි.

    එහෙත් තමාගේ නොවන ප්‍රශ්නයක් ගැන මිනිස්සු දාර්ශනික තාර්කික පිළිතුරු ලබා දෙති.

    ප්‍රශ්නය වන්නෙ එවැනි පිළිතුරක් ඕනෑම අයෙකුට දිය හැකි නමුදු ප්‍රශ්නයේ ඉන්නා කෙනාට සමහරවිට එය කියන තරම් ලේසියෙන් කරන්න බැරි දෙයක් වීමයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න