Rishabh Pant පසු කරමින් Babar Azam ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

1326

ඉන්දීය නායක Virat Kohli හා දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල සිය ස්ථානයන් රැකගන්නා විට ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant හට සිය ස්ථානය අහිමිව ගොස් තිබෙනවා. එලෙස Pant පසු කරමින් ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානයට පැමිණ තිබෙන්නේ පාකිස්තාන නායක Babar Azam. 

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi ද ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත් වී තිබෙනවා. මේ ඔහු එවන් දක්ෂතාවයක් පෙන්නුම් කළ පළමු අවස්ථාවයි. 

පාකිස්තාන – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන නායක Babar Azam සැලකිය යුතු තරමේ දස්කම් දක්වන්නට සමත් වුනා. ඔහු ක්‍රීඩා කළ ඉනිම් හතරේ දීම ලකුණු 30 සීමාව පසුකර යන්නට සමත් වූ අතර පිතිකරුවන්ට ක්‍රීඩා කිරීමට ඉතා අපහසු වූ Sabina Park තණතිල්ලේ ද ඔහු ලකුණු 30 සීමාව දෙවරක්ම ඉක්මවා යෑම විශේෂත්වයක්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔහු 48.25ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු 193ක් රැස් කරගන්නට සමත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 124ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Fawad Alam, ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 34ක් ඉදිරියට පැමිණ 21 වන ස්ථානයේ රැඳී සිටිනවා. 

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටින පාකිස්තාන පන්දු යවන්නා වෙමින් Shaheen Afridi, ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 783ක්. 

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී Shaheen Afridi ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර තරග දෙකේ දී ඔහු කඩුලු 18ක් දවා ගත්තා. එම තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා වෙමින් Jayden Seales කඩුලු 11ක් දවා ගෙන තිබුනා. Afridi පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 8ක් දවා ගත් අතර දෙවන ටෙස්ට් තරගයේ දී සිය ක්‍රීඩා දිවියේ තරගයක ඉහළම දස්කම වාර්තා කරමින් ලකුණු 94කට කඩුලු 10ක් දවා ගත්තා. Afridi මේ වන විට ටෙස්ට් තරග 19ක දී කඩුලු 76ක් දවා ගෙන සිටින්නේ 25.25ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<