එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද?

එච් අයි වී / ඒඩ්ස් (HIV / AIDS)

එච් අයි වී (HIV) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) කියන්නේ අහපු ගමන් අපේ හිත හොස් ගාල යන රෝගී තත්ත්වයක්. ශ්‍රි ලංකාව එච් අයි වී / ඒඩ්ස් අවම මට්ටමක තියෙන රටවල් කිහිපය අතර ඉන්න රටක් වුනත් පසුගිය වසර කිහිපය තුළ එච් අයි වී ආසාදිත රෝගීන්ගේ විශාල වැඩි වීමක් පවතින බව වාර්තා අනුව පෙනී යනවා. උදාහරණයක් විදියට විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන තරුණයන් මේ සඳහා ගොදුරුවන බව පේනවා.

 

ඉතින් එච් අයි වී/ ඒඩ්ස් කියන්නේ කොරෝනා නිසා අපට පොඩ්ඩකට අමතක වුන තත්ත්වයක් උනත්, අනාගතයේදී ඉතා විශාල ගැටලු සංඛ්‍යාවක් නිර්මාණය කරන්නට අවස්ථාවක් තියෙන රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්.

ඒ එක්කම තමයි එච් අයි වී එහෙමත් නැත්නම් ඒඩ්ස් ගැන කතා කරද්දි ඒ වගේම ලිංගාශ්‍රිතව බෝ වෙන රෝග ගනනාවක් තියෙනවා. ඒවා ගැනත් අවධානයක් දෙන එක වැදගත්. උදාහරණයක් විදියට ගොනෝරියාව (Gonorrhea) , සිපිලිස් (syphilis) , ලිංගික හර්පීස් (Genital herpes), ලිංගික ඉන්නන් (Genital warts), හෙපටයිටිස් බී (Hepatitis B) වගේ රෝග තත්තව ප්‍රධාන වෙනවා.

එච් අයි වී (HIV)

එච් අයි වී (HIV) සහ එඩ්ස් (AIDS) කියන්නේ එකක්ද දෙකක්ද? ඇත්තටම ගත්තොත් අපි හැම වෙලාවකම එච් අයි වී සහ එඩ්ස් කියන වචන දෙක කතා කරන්නේ එකට. නමුත් මේ වචන දෙක එකකට එකක් බැදුන වචන දෙකක්.

 

එච් අයි වී කියන්නේ වෛරසයක්. එය Human Immunodeficiency Virus එහෙමත් නැත්නම් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය කියලා හඳුන්වනවා. එනම් එම වෛරසයට හැකියාව තියෙනවා මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට සෘජු බලපැම් කරන්න. ඒ එක්කම ප්‍රතිශක්තීකරණ පද්ධතිය (Immune system) අඩාල කරලා ආසාදිත පුද්ගලයාට විවිධ රෝග තත්ත්ව ඇති කරන්න.

ඒඩ්ස් (AIDS)

ඒඩ්ස් එහෙමත් නැත්නම් නතුකරගත් ප්‍රතිශක්තීකරණ ඌනතා රෝගය (Acquired Immunodeficiency Syndrome) කියලා හඳුන්වන රෝගය ඉතාම බරපතල තත්ත්වයක් කියලා කියනන් පුලුවන්. අපි කලින් කියපු එච් අයි වී වෛරස ආසාදිතයෙක් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් මේ කියන ඒඩ්ස් කියන රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒඩ්ස් කියන්නේ ඉහත කියපු ප්‍රතිශක්තීකරණ පද්ධතිය බොහෝදුරට අඩාල උනාට පසුව ඇතිවෙන අඩු ප්‍රතිශක්තීකරණ අවස්ථාවක් (Immune deficiency status) කියලා කියන්න පුලුවන්.

එච් අයි වී වෛරසය ආසාදනය වන්නේ කෙසේද?

එච් අයි වී වෛරසය කියන්නේ කෙනෙක්ව ආශ්‍රය කල පමණින් එහෙමත් නැත්නම් කතා බහ කල පමණින් බෝ වෙන රෝගයක් නෙවේ. එච් අයි වී බෝ වෙන ප්‍රධාන ආකාර 3ක් තියෙනවා.

HIV in sinhala due to unprotected sex
  1.  අනාරක්ෂිත ලිංගික එක්වීමකින් (Unprotected Sex)
  2. මවකගෙන් දරුවෙකුට (Mother to baby)
  3. රුධිරය හරහා (transmission through blood)

1. අනාරක්ෂිත ලිංගික ඇසුරක් මගින් එච් අයි වී පැතිරෙන්නේ කෙසේද? (process of HIV infection from unprotected sex)

අපි කලින් කතා කලා වගේ එච් අයි වී කියන්නේ සමීප ඇසුරක් මගින් බෝ වෙන ලෙඩක් නෙවේ. මේ සඳහා බොහෝවිට හේතුවන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුරක් (unprotected sexual activity). විශේෂයෙන් සමාජ ජාල වල දියුණුවත් සමග මෙවැනි අනාරක්ෂිත ලිංගික එක්වීම් වල ඉහල යාමක් ඇති වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ හැරුණු විට ඕනැම අනාරක්ෂිත ලිංගික එක්වීමකදි මෙම රෝග තත්ත්වය ඇති කරන වෛරසය අනෙක් පුද්ගලයාට බෝ වීමේ හැකියාව පවතිනවා.

විශේෂයෙන් පහත සඳහන් පුද්ගලයන් සමග ලිංගික එක්වීම් වලදි පරිස්සම් විය යුතු වෙනවා.

  • හදීසියේ හඳුනාගන්න කෙනෙක් (stranger)
  • සම ලිංගික සේවනයේ යෙදෙන කෙනෙක් හෝ ඔවුන්ගේ සහකරුවන් (Homosexuals)
  • සංක්‍රාන්ති ලිංගිකයන් සමග ලිංගික ඇසුරු පවත්වන පුද්ගලයන් (Transgenders)
  • ගණිකාවන් ඇසුරු කරන පුද්ගලයන් (Commercial sex workers)

මොවුන් බොහෝ දෙනෙක් HIV රෝගය සඳහා වැඩි අවදානමක් සහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉතින් මෙවැනි පුද්ගලයෙන් සමඟ අනාරක්ෂිත ලිංගික එක්වීමක් පවත්වන විට ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවයව වල පවතින ශ්‍රාවයන් අනෙකාගේ ලිංගික අවයව මත තැවරෙනවා. එසේ තැවරෙන ශ්‍රාව වල අඩංගු එච් අයි වී වෛරසය එම අවයව වල පවතින සියුම් සිදුරු හරහා ශරීරයට ඇතුල් වෙන්වා.

2. මවකගෙන් දරුවෙක්ට එච් අයි වී වෛරසය ආසාදනය වෙන්නේ කෙසේද? (Process of HIV infection through mother to baby)

ශ්‍රි ලංකාව ගත හොත් බොහෝවිට මවකගෙන් දරුවෙක්ට Human Immunodeficiency Virus වෛරසය ආසාදනය වන්නේ ඉතාම කලාතුරකිනි. එය වසරයට ශුන්‍යයකට ආසන්න වේ. එසේ වූවද මාධ්‍යය වාර්තා අනුව 2018 වසරේදි එවැනි දරුවන් දෙදෙනෙකු හඳුනාගන්නට ලැබී තියෙනවා.

ගර්භණි සමය තුළ මවකගෙන් දරුවෙකුට එච් අයි වී ආසාදනය ගමන් කරන්නේ ඉතාම කලාතුරකින්. එසේ වූවද ඉදහිට එවැනි අවස්ථා ඇතිවිය හැක.

මවගෙන් දරුවාට රෝගය පැතිරීමේ වැඩිම හැකියාවක් ඇත්තේ දරු ප්‍රසූතිය (Child birth) අවස්ථාවේදීයි.

ඊට අමතරව කිරිදෙන අවස්ථාවේදී  (breast feeding) මවගෙන් දරුවාට රෝගය පැතිර යාමේ හැකියාව පවතිනවා.

3. රුධිරය හරහා එච් අයි වී පැතිරෙන්නේ කෙසේද? (process of HIV transmission from blood)

අපි විවිධ අවස්ථා වල රුධිරය සහ ඒ ආශ්‍රිත කොටස් රෝගීන්ට ලබාදීම (Blood transfusion) සිදු කරනවා. එසේ ලබා දීමේදි එච් අයි වී ආසාදනය රෝගීන්ගේ ශරීර ගත වීමේ හැකියාව පවතිනවා. එසේ වූවත් ශ්‍රි ලංකාව ගතහොත් එවැනි අවස්ථා ඉතාම විරල රටක් ලෙස සලකන්න පුලුවන්.

විශේෂයෙන් රෝගියෙක්ට රුධිරය ලබා දීමට කලින් මෙම රුධිරය අවස්ථා කිහිපයකදි පරික්ෂාවට ලක් කෙරෙනවා. ඉන්පසු එවැනි සැක සහිත රුධිර පැකට් නැවත නැවත පරික්ෂා කිරීම සිදුවෙනවා. මේ නිසා එවැනි අවස්ථා ඇති වීමත් ඉතාම විරලයි කියලා කියනන් පුලුවන්.

ඊට අමතරව මත්ද්‍රව්‍යය එන්නත් කර ගන්නා පුද්ගලයන් අතර එකම එන්නත් ක‍ටුව කිහිප දෙනෙක් භාවිතා කිරීම නිසාත් මෙය පැතිර යනන් පුලුවන්

ඒ එක්කම තවත් අවස්ථාවක් තමයි රෝගීන් සමග කටයුතු කිරීමේදි සෞඛ්‍යය අංශ වල පුද්ගලයන්ට එන්නත් ක‍ටු, බ්ලේඩ් වගේ දේවල් වලින් ආසාදනය වීම.

ඉතින් මේ හැරෙන්නට කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට එච් අයි වී බෝ වෙන ක්‍රම නැ.

එච් අයි වී (HIV/AIDS) බෝ නොවන ක්‍රම

බොහෝ දෙනක් එච් අයි වී/ ඒඩ්ස් වලට බය වෙන්න ලොකුම හේතුව තමයි එය පැතිරෙන ආකාරය ගැන අවබෝධයක් නැති කම. ඉතින් ඒ නිසාම එච් අයි වී බෝ නොවන ක්‍රම ගැනත් ඔබේ අවදානය යොමු කරන්න හිතුනා

 

  1.  එච් අයි වී රෝගියෙකු සමඟ එක නිවසේ වසය කිරීමෙන්
  2.  ආසාදිත රෝගියෙකු සමග සිප ගැනීමෙන්
  3. ආසාදිත අයෙකු සමග අතට අත දීමෙන්
  4.  එච් අයි වී රෝගියෙකු පාවිච්චි කරන වැසිකිලි පාවිච්චි කිරීමෙන්
  5.  එච් අයි වී රෝගියෙකු භාවිත කරන පිගන් , කෝප්ප පාවිච්චි කිරීමෙන්
  6.  ආසාදිත පුද්ගලයෙකුට දෂ්ඨ කල මදුරුවෙකු දෂ්ඨ කිරීම මගින්

HIV ආසදිත රෝගියෙකු AIDS රෝගියෙකු බවට පත්වන්නේ කෙසේද?

අපි කලින් කතා කලා වගේ එච් අයි වී ශරීර ගත වුන  හැම කෙනෙක්ම ඒඩ්ස් තත්ත්වයට පත් වන්නේ නැ. ඔවුන් බොහෝ දෙන්ක් නිසි ප්‍රතිකාර තුළින් ඉතා සාමන්‍යය ජීවිත ගත කරනවා. නමුත් එසේ ප්‍රතිකාර ලබා නොගන්නා පුද්ගලයන් ඒඩ්ස් රෝගී තත්ත්වයට පහසුවෙන් ගොදුරු වෙනවා.

HIV transmission in Sinhala

සමහර විට එච් අයි වී ශරීර ගත උන රෝගියෙකු එම රෝගී ලක්ෂණ නොමැතිව අවුරුදු 10ක් පමණ වුවත් ජීවත් වෙන්න පුලුවන්. නමුත් අවශ්‍ය ප්‍රතිකර නොලැබුනොත් යම් අවස්ථාවක ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩු වන විට වෛරසය ක්‍රියාත්මක වෙලා රෝගී තත්ත්වය ඇති කරනවා.

අපි දන්න විදියට කිසිම වෛරසයකට තනිව ගුණනය විය නොහැකියි. ඔවුන් සත්ව හෝ ශාක සෛලවලට ඇතුල් වී එම ක්‍රියාවලිය සිදු කල යුතුයි.

 එච් අයි වී වෛරසය ගත් කල ඔවුන් ඇතුලු වීම සිදු කන්නේ මිනිසාගේ ඉතාම වැදගත් පද්ධතියකට. ඒ තමයි ප්‍රතිශක්තීකරණ පද්ධතියට. අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ පවතින CD4 T helper cells කියන වසා සයිල වර්ගයට සම්බන්ධ වෙනවා. එහෙම වෙලා ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලින් සහ ගුණනය සඳහා යොදාගන්නේ මෙම සෛල. එහි ප්‍රතිඵලයක් විදියට ක්‍රමාණුකූලව මෙම සෛල විනාශ වීම තුලින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ක්‍රමයෙන් දුර්වල වෙලා යනවා.

 

මෙම තත්වය නතුකරගත් ප්‍රතිශක්තීකරණ ඌනතා රෝගය (Aquired Immunodeficiency Syndrome) එහෙමත් නැත්නම් ඒඩ්ස් කියලා හඳුන්වනවා.

එච් අයි වි / එඩ්ස් සඳහා වැඩි අවධානමක් සහිත පුද්ගලයන් කවුරුන්ද? (High risk people for HIV / AIDS)

1. ලිංගික ශ්‍රමිකයන් (Commercial sex workers)
2. බහු පුද්ගල සම්බන්ධතා  පවත්වන පුද්ගලයන් (People with polygamies relationship) 
3. සමලිංගිකයන් (Homosexuals)
4. සංක්‍රාන්ති ලිංගිකයන් (transgenders)
5. මත්ද්‍රව්‍යය එන්නත් කර ගන්න පුද්ගලයන් ( IV drug users)
6. සිර කරුවන් (prisoners)

එච් අයි වී වලක්වාගන්නේ කෙසේද? (How to Avoid HIV / AIDS)

1. ලිංගික කටයුතු එක් විශ්වාසවන්ත සහකරුවෙකුට පමණක් සීමා කිරීම
2. අවධානම් ලිංගික සම්බන්ධතා මග හැරීම
3. සහකරු හෝ සහකාරිය හැර වෙනත් අයෙකු සමග එක්වීමේදි අනිවාර්යෙන්ම කොන්ඩමයක් පැලදීම
4. ඔබට HIV ආසාදිත වීමේ හැකියාවක් පවතීනම් එය පරික්ෂා කරවා ගැනීම
5. අසාදිත පුදගලයන් නිසි ප්‍රතිකාර වලට යොමුවීම

ශ්‍රි ලංකාව තුළ HIV Virus පරික්ෂාවක් කර ගන්නේ කෙසේද?

1. ඔබට එවැනි රෝගයක් සැක කරන්නේ නම් ඔබගේ වෛද්‍යයවරයා හමුවී ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්න
2. ලංකාව පුරා පවතින ලිංගාශ්‍රිත සායන වලින් නොමිලේ HIV පරික්ෂාවක් කර ගන්න

එච් අයි වී / ඒඩ්ස් සඳහා පරික්ෂා කිරීම (HIV testing in Sri Lanka)

එච් අයි වී රෝගය සඳහා වු ප්‍රතිකාර සාර්ථකද? (Treatments for HIV)

දැනට HIV / AIDS සඳහා පවතින ප්‍රතිකාර වල මූලික ක්‍රියාවලිය වනුයේ වෛරසයේ ගුණනය වලක්වා ගැනීමයි. එමගින් ආසාදිතයන් ඉක්මනින් AIDS රෝගීන් බවට පත්වීම වැළැක්වීමයි. නමුත් එමගින් එච් අයි වී 100% සුව කර ගත නොහැක.

This articles was a complete discussion on HIV in sinhala language. In addition I have tried to gather all the information on AIDS in sinhala too. 

Reference

  1. වෛද්‍යය ඉරේෂ් ජයවීර විසින් 2020 දෙවැම්බර් මස 05 වන දින ප්‍රකාශයට පතකල ලංකාදීප පුවත්පතට “තරුණ පරපුරට එච් අයි වී අවදානම මැයින් ලියූ ලිපිය.  See here 
  2. Naif H. M. (2013). Pathogenesis of HIV Infection. Infectious disease reports5(Suppl 1), e6. https://doi.org/10.4081/id
    link here
  3. ශ්‍රි ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන : එච් අයි වී පිලිබඳ දත්ත
  4. BBC News සිංහල මගින් 2019 සැප්තැම්බර් මස 23 වන දින පලකල ” ශ්‍රි ලංකාවේ එච් අයි වී සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ගැන මෙඔ කරුණු ඔබ දැන සිටියාද? ” යන ලිපිය

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *