නව ජන කවි


පාරු කවියක්:
ඔන්න මලේ ඔය සාටක ඔතා ගනින්
හැත්ත ගොනුන් රවටන්නට සිතා වරෙන්
කැලණි ගඟෙන් නයි මතුකර රවට ගනින්
සාධුකාර මැද ජනපති පුටුව ගනින්

කරත්ත කවියක්:
තන්ඩලේ අයිය මල්ලිල රජ වෙනවා
මිහිතලේ තියෙන සේරම විකුණනවා
බඩු මිලේ ගාන අහසට ඉගිලෙනවා
ජන බලේ තවත් වහලුන් දඟලනවා

පතල් කවියක්:
ඉන්නෙත් කොළබමයි සුවිසල් මැදුරු පිට
කන්නෙත් රජ බොජුන් ජනබදු එකතු කොට
බොන්නෙත් සරුවතුයි විස්කි ද අයිස් කැට
එන්නේ කවදා ද ජන දුක අහන්නට

පැල් කවියක්:
යහපත් දනා ඉන්නා කල නැතුව මොළේ
කොහොමත් බැරිය වලකන්නට මුන්ගෙ බලේ
එක්සත් උනොත් ඇති පෙන්වා එඩිය හෙලේ
කොස්සත් ඇතියි පන්නන්නට හිවල් රැලේ

නෙලුම් කවියක්:
තෙල් ගාලා පොලු අරගන් නෑනෝ
ඇට කටු බිදෙන්න ගුටිදෙන් නෑනෝ
සේලේ ගලවන් දුවන්න නෑනෝ
ගොයම් නෙලන ලෙස නෙලපන් නෑනෝ

ඔළිඳ කවියක්:
දොඩම් පෙන්නලා නාරං දීලා රටට කෙලින හැටි බලන් කලූ
ගෑස් හංගලා මිළ වැඩි කරලා කොමිස් ගහන හැටි බලන් කලූ
සාටක ඇඳලා සැපද අසාලා චීනට රට මිල කරයි කලූ
වැනසෙන රටේම සැනසෙන පවුලට එහෙයි කියන උන් ගොඩයි කලූ

කලගෙඩි කවියක්:
අහසට දෙස් දී සාප කලේ යා
පොලවට පොහොරත් නොමැති කලේ යා
ගුරුන්ට පඩියත් අහිමි කලේ යා
ඉඳකින් හෙන හත මුන්ට නොවේ යා

පන් නෙලීමේ කවියක්:
ගාන තෙල් බටර් සමගින් දහං ගැට
මූණ පුරා පෙන්වා බොරු හිනා කට
බාන කෙප්ප අදහා මතු චන්දෙකට
නෑනේ යලිත් යමු කතිරය ගහන්නට

වස් කවියක්:
කෙප්ප කෙලින කට හතරට පැලීයං
හැත්ත වරිගෙ හැඳිගෑවී නැසීයං
රොත්ත මහලු මඩමට ගිනි වැදීයං
ඇත්ත දකින උන්ගෙන් රට පිරීයං

*සමන් අතපත්තු *

ප්‍රතිචාරයක් ලබාදෙන්න