මුළුතැන්ගෙයින් තරඟ බිමට ගෙන ආ කාන්තා ශක්තිය…

Share

දහස් ගණන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කළ, සියල්ලන්ට ම ජය පැරදුම හුරු කළ ලොව ප්‍රමුඛත ම ක්‍රීඩා උළෙල ප්‍රථම වරට 1896 දී ආරම්භ විය. නමුත් සිව් වසරක් ගත වන තුරු ම එයට ක්‍රීඩකයින් පමණක් සහභාගී විය.

ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) මඟින්, “ස්ත්‍රී හා පුරුෂ සමානාත්මතාවය අගයමින් ක්‍රීඩාවේ සෑම තරාතිරමක හා සියලු ව්‍යුහයන් හි කාන්තාවන් ප්‍රවර්ධනය කිරීම, දිරිගැන්වීම හා සහාය දීම” අරමුණු කරගනිමින් 1900 දී පැරිස් නුවර පැවති ඔලිම්පික් තරඟ සඳහා ප්‍රථම වරට කාන්තාවන්ට ඉදිරිපත්වීමට අවස්ථාව සැලසිණි. මෙම ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 997 ක් සහභාගී වූ අතර ඉන් 22 ක්‍රිඩිකාවන් විය. ටෙනිස් (Tennis), අශ්වාරෝහක ක්‍රීඩා (Equestrianism), ගොල්ෆ් (Golf), ක්‍රොකට් (Croquet), ඔරු පැදීම (Sailing) වැනි ක්‍රීඩා කිහිපයක් සඳහා පමණක් ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය දක්නට ලැබුණි.

1900 දී පැවති ඔලිම්පික් උළෙලෙහි ස්විස්ටර්ලන්තයෙන් තරඟ වැදී රන් පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩිකාව වන්නේ Hélène, Countess de Pourtalès ය. ඇය කණ්ඩායම් ඔරු පැදීමේ තරඟයෙන් මෙම ජයග්‍රහණය ලබාගන්නා ලදි.

ඒ වගේ ම එක්සත් ජනපදයෙන් තරඟ වැදුණු පළමු ක්‍රීඩිකාව වන Charlotte Reinagle Cooper ටෙනිස් තරඟයෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කරන ලදි.

1900 දී පැරිස් නුවර පැවති මෙම ඔලිම්පික් උළෙලෙ හි කාන්තා ගොල්ෆ් රන් පදක්කම දිනාගැනීමට ඇමරිකානු ක්‍රීඩිකා Margaret Ives Abbott සමත් වූවා ය.

1900 දී කාන්තාවන් හට මෙම මහඟු අවස්ථාව හිමි වුවද වසර කිහිපයක් ගත වන තුරු ම කිසිඳු ඔලිම්පික් උළෙලකට කාන්තාවන් සහභාගී නොකළ රටවල් ගණනාවක් තිබූ අතර පසුව එම සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු විය.

1912 දී පළමු වරට පිහිනුම් තරඟ සඳහා ඉදිරිපත් වීමට කාන්තවන්ට අවස්ථාව හිමි විය. එහි දී බොහෝ ක්‍රීඩිකාවන් වූල් වලින් නිම වූ දිග ඇඳුම් භාවිතා කළ අතර ඒවා ජලය තුළ දී බරින් අධික විය. නමුත් බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවෝ සිල්ක් වලින් නිම වූ සැහැල්ලු ඇඳුම් භාවිත කළහ.

1921 දී කාන්තාවන් සඳහා වෙන් වූ ඉසව් පිහිටුවීමට කටයුතු කළ අතර 1928 වන විට කාන්තාවන්ගේ සහභාගිත්වය 10% ක් දක්වා වර්ධනය විය.

1932 දී Mildred Ella “Babe” Didrikson විසින් පිටිය හා ජවන ක්‍රීඩාවලින් ලෝක වාර්තා 4 ක් පිහිට වූ අතර රන් පදක්කම් 2 ක් හා රීදී පදක්කම්ක් දිනාගන්නා ලදි. පසුව ඇය ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීමය ගොල්ෆ් ක්‍රීඩිකාවක් වූ අතර “Best of ” ලැයිස්තුවට ද ඇතුළත් විය.

1936 දී බර්ලින් හි (Berlin) පැවති ඔලිම්පික් උළෙලෙ හි විශේෂ සිදුවීම් රැසක් සිදු වූ අතර එහි තරඟ වැදී රන් පදක්කමක් දිනාගත් 13 හැවිරිදි Marjorie Gestring ඔලිම්පික් ඉතිහාසයේ පදක්කමක් දිනාගත් ලාබාලත ම පුද්ගලයා විය.

1960 වර්ෂයේ දී පැවති ශීත ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 20% ක් පමණ කාන්තාවන් වූ අතර එහිදී ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට Speed skating සඳහා තරඟ කිරීමට කාන්තාවන්ට අවස්ථාව හිමි විය.

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ජිම්නාස්ටික් ක්‍රීඩිකා Larisa Latynina පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් වූ අතර ඇයගේ මුළු ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 18 ක් දක්වා වැඩි විය. 2012 වන තුරු ම වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් පුද්ගලයා ලෙස ඇය ඉතිහාසගත විය.

1976 Nadia Camaneci දී ජිම්නාස්ටික් තරඟයෙන් සම්පූර්ණ ලකුණු 10 ලබා ගත් අතර මෙම තරඟය ජයග්‍රහණය කරන විට රුමේනියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවගේ වයස අවුරුදු 14 ක් පමණි.  ඇයගේ අතිවිශාල කුසලතාව සහ ජවය ඇයව ප්‍රේක්‍ෂකයින් අතර ප්‍රියමනාප කෙනකු බවට පත් කළ අතර, අනාගත ඔලිම්පික් ක්‍රීඩකයින් දිරිමත් කරමින් ලොව පුරා ජිම්නාස්ටික් ජනප්‍රිය කිරීමට ඇය මහඟු පිටිවහලක් විය.

1900 ඔලිම්පික් උළෙලෙන් කාන්තාවන්ගේ ක්‍රීඩා ගමන ආරම්භ වුව ද 2010 වන විටත් සවුදි අරාබිය, බෲනෙයි හා කටාර් යන රටවල් කිසිඳු ඔලිම්පික් උළෙලකට ක්‍රීඩිකාවන් සහභාගි කර නොතිබූ අතර එම රටවල් වලට ඔලිම්පික් තහනම් කිරීමට පවා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් තීරණය කෙරිණි. නමුත් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සියලු ම රටවල් ක්‍රීඩිකාවන් සහභාගී කරවීය. 2012 දී බොක්සිං ක්‍රීඩාව කාන්තාවන්ට විවෘත වීමත් සමඟ සියලු ම ක්‍රීඩා සඳහා ඉදිරිපත් වීමට කාන්තාවන්ට අවස්ථාව හිමි විය. 2016 වනවිට කන්තාවන්ගේ සහභාගීත්වය 45% දක්වා වැඩි විය. ක්‍රීඩකයන් සඳහා වෙන් වූ සියලු ම ක්‍රීඩා ඉසව් ක්‍රීඩිකාවන් සඳහා වෙන් වූ අතර රිද්මයනුකූල ජිම්නාස්ටික් සහ සමමුහුර්ත පිහිනුම් ඉසව් පිරිමි ක්‍රීඩකයන් හට වෙන් වී නොමැත.

එදා මෙදා තුර ඔලිම්පික් ඉතිහසයේ අභියෝග මැද තම ජයග්‍රහණ කරා ගිය ක්‍රීඩිකාවන් බොහොමයක් බිහි විය. තම කුඩා පාද හේතුවෙන් “Chicken legs” නමින් යහළුවන් අතර සමච්ච්ලයට ලක් වූ ඇය ධාවන තරඟ වලින් ඔලිම්පික් පදක්කම් 9 ක් හිමිකරියක් වූ Allyson Felix  ය.

එලෙස ම දරුගැබක් දරමින් ඔලිම්පික් හි 800 m හි තරඟ වැදුණු Alysia Montano ද ඔලිම්පික් ඉතිහාසයේ නම් සනිටුහන් කළ ක්‍රීඩිකාවකි. ඇය ක්‍රීඩා කරන විට හිසෙහි මලක් පැළඳ සිටි අතර එයින් “ස්ත්‍රීත්වය” සංකේතවත් වන බව ඇය පවසයි. ඔලිම්පික් ඉතිහසයේ කාන්තාවකගේ නොසැලෙන ශක්තිය ලොවට පෙන්නුම් කළ හොඳ ම ක්‍රීඩිකාව ඇයයි.

ඔලිම්පික් ඉතිහසයේ ශ්‍රී ලංකාව ගත් කළ “ආසියාවේ කළු වෙළඹ” නම් වූ සුසන්තිකා ජයසිංහ අප රටට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි. 2000 වසරේ පැවති ඔලිම්පික් උළෙලෙහි 200 m ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ඇය කෙටිදුර ධාවන තරඟයක දී පදක්කමක් හිමි කරගත් පළමු ආසියානු ක්‍රීඩිකාවයි.

එලෙස ම මෙවර ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනාගෙන් 5 දෙනෙකු ම කාන්තාවන් වීම විශේෂත්වයකි.

1900 දී පැරීසියෙන් ඇරඹුණු කාන්තාවන්ගේ ක්‍රීඩා ගමනේ, එදා මෙන් ම ඉදිරියට ද ඔලිම්පික් ඉතිහසයේ නම සනිටුහන් කරන, කාන්තාවකගේ ශක්තිය ලොවට පෙන්වන ක්‍රීඩිකාවන් ලොව දසතින් බිහි වනු නොඅනුමාන ය.

References:

Image Courtesies:

 
Tagged : /