ආදරණීය රුවැත්තියක්. එයා, ලස්සන ම කුමාරියක් !
නින්ද නොලැබ හෙළූ සුසුම් සුවඳක් වී හමනවද
සින්ද කඳුළු මුතු කැට වන් අරුණැල්ලට දිලෙනවද
බැන්ද සෙනෙහෙ රන් තිලකෙක මුනිවත සිප රකිනවද
මන්ද වුවන සඟවාගෙන ඔච්චම් කිම කරනවද
සිසි කිරණින් රැය පුරා ම තෙමි තෙමි හිත් හැටියට
නිසි වරුණින් සැදි සැදි සුව කුටියක් හද අරණට
ඉසි කෝ මන් හමුවිද නොකියන මේ කලබලයට
ඇසි පිය නොහෙළා මියෙන්නෙ කිම පෙර හිමිදිරියට
සුරඟනුන් සත්බුමු මතින් හිඳ පාන පෙළහර පිරි රසේ
විදුරසුන් ගෙත්තමක බබළන බුදු පුදට වැද එක ලෙසේ
දුර යොදුන් ගිම් රිදුම් මැඬ දැහැනකට මුසු කළ සන්තොසේ
අතු මතින් පිපි උවැසි බැති පෙළහරින් සරසති හද මෙසේ
සඳුට පෙම් කළ තිමිර ගලනා නිසල ගොම්මන් වෙලාවේ
දවට සරතැස සමු අරන් මුදු පැතුම් පීදෙන කලාවේ
රුවට මනහර සුවැති විකසිත කැලුම් පොදි සිත් තලාවේ
ළයට අබිසෙස් පළන් කොමළිය පාලිකා සේ වලාවේ
සිත් පවනට මිහිර දිදී මිලින නොවි පිපීයන්
තෙත් සිතුවිලි ගඟුල ඇදී උතුම් පෙත සැදීයන්
අත් හළ මහ බරින් මිදී දහම් නඳ ඇසීයන්
මෙත් කරුණා ගුණ අඹරෙන් නිවන් පුර වැදීයන්
Image link: https://bit.ly/3xogCFw