ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් තරග බිමට පිවිසි අවසන් ක්‍රීඩිකාව වන ​Mathilda Karlsson අද (03) Equestrian ක්‍රීඩාවේ කේවල පැනීමේ (Jumping Individual) ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා සහභාගී වූ අතර එහි දී ඇයගේ අශ්වයා වන CHOPIN VA පැනීම් දෙකක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට සිදු වුනා. 

13 වැනි තරගකරු ලෙස තරගය ආරම්භය කළ Mathilda තරගයෙන් ඉවත් වන විට දඬුවම් අවස්ථා 5ක් පමණක් හිමි කරගෙන සිටීම විශේෂත්වයක්. 

>> Mathilda Karlsson සහභාගී වූ ඉසව්වේ ඡායාරූප ඇල්බමය <<

තරගයෙන් අනතුරුව Mathilda Karlsson අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තම අශ්වයා වන CHOPIN VA සතු අත්දැකීම් අඩුකම සහ විශේෂයෙන්ම තරගයේ දී ඇය විසින් ඔහුව (CHOPIN VA) ඉතා තදින් මෙහෙයවීම මෙම ඉවත් වීමට හේතු විය හැකි බවයි. 

ඔහුගේ (Chopin VA) අත්දැකීම් අඩුයි තමයි. හැබැයි මට හිතෙනවා මං එයාව මෙහෙයවූවා දරුණු වැඩි ද කියලා. කොහොම වුනත් දැන් ඔහු ලෝකෙට පෙන්නුවා ඔහු කවුද කියලා. අපිට ලැබුණු මේ අත්දැකීම ගොඩක් වටිනවා වගේම මට හිතෙනවා මේ ඉසව්ව නියෝජනය කිරීමට ලැබීමම ලොකු ජයග්‍රහණයක් කියලා.

ඇයගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින්, 

අපි ආපසු ගිය ගමන්ම පුහුණුවීම් පටන් අරගෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වෙන්න ඕනි. ඊට පස්සේ ලෝක ශූරතාවය තියෙනවා. ඒ අවස්ථා දෙකේ දීම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම ගොඩක් විශේෂයි මට යනුවෙන් පැවසුවා. 

Mathilda සහභාගී වූ කේවල පැනීමේ (Jumping Individual) ඉසව්වේ සුදුසුකම් වටයේ දී සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම තත්පර 89ක දල කාලයක් හිමි වන අතර එහි දී අඩුම දඬුවම් අවස්ථා ප්‍රමාණයක් හිමි කර ගන්නා අනුපිළිවෙළට ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි. සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම උපරිම ලෙස එක් පැනීම් අවස්ථාවක් ප්‍රතික්ෂේප කළ හැකි අතර දෙවැනි අවස්ථාවේ දී තරගයෙන් ඉවත් වීමට සිදු වේ.  

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකු තරග වැදුණු සුදුසුකම් ලැබීමේ වටයෙන් පසුව පැවැත්වෙන අවසන් තරගය සඳහා ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකු පමණක් තේරී පත්වේ. 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා පළමුවෙන්ම සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයා වන Mathilda Karlsson ‘ඔලිම්පික් උළෙලක Equestrian ක්‍රීඩා ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා’ ද වනවා. 

Mathildaගේ පළමු ඔලිම්පික් උළෙල වන මෙවර ඔලිම්පික් උළෙලේ Equestrian ක්‍රීඩා ඉසව්ව නියෝජනය කිරීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඇය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (International Olympic committee) වෙත ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප වුනා. එයට හේතුව ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සඳහන් කර තිබුණේ ‘ශ්‍රී ලංකාව Equestrian ක්‍රීඩා ඉසව් සඳහා සම්බන්ධ වී නොමැති’ බවයි. 

Mathilda විසින් මෙම තීරණය අභියෝගයකට ලක්කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ උසාවියේ සහාය පතා ඇති අතර එම උසාවිය විසින් කරුණු සලකා බලා Mathilda හට මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලබා දෙන ලෙස නියෝග කර තිබුණා. 

තමා වෙත පැමිණි අනේකවිධ බාධා හමුවේ සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් එක් කළ Mathilda Karlsson, ඔබගේ අනාගත ක්‍රීඩා දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා’යි ThePapare.com අප එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<