ඉන්දු – පාකිස්තාන දේශපාලනික ගැටලුව ක්‍රිකට්වලටත්

408

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත කාශ්මීර් ප්‍රිමියර් ලීග් (KPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පිළිනොගන්නා ලෙස ඉල්ලමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 6 වැනිදා සිට අගෝස්තු 16 වැනිදා දක්වා කාශ්මීරයේ Muzaffarabad ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ විදෙස් ක්‍රීඩකයින්ගේ ද සහභාගීත්වය ඇතිවයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුතුවලට බාධා වන ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය මැදිහත් වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය අප්‍රසාදය ද පල කර සිටියා.

ඒ, කාශ්මීර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් සහභාගී වීම වැළැක්වීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙනත් ක්‍රිකට් ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවට වාර්තා පල වීමත් සමඟයි.

කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම පහත දැක්වෙන Twitter පණිවිඩය නිකුත් කර තිබුණා.

එමඟින් ඔහු පවසා සිටින්නේ කාශ්මීර් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන්නැයි තමාට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි. එසේ ක්‍රීඩා කළහොත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතු සඳහා යළි ඉන්දියාවට පැමිණීමට අවසර ලබා නොදෙන බවට ද තමාට තර්ජනය කළ බව ද ඔහු එම Twitter පණිවිඩයේ සඳහන්කර තිබෙනවා.

එවැනි පසුබිමක් මතයි අදාළ තරගාවලිය පිළි‍නොගන්නා ලෙස පවසමින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ද ඉන්දියාව ලිපියක් යොමු කර ඇත්තේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර කලක් තිස්සේ පටන් පැවත එන කාශ්මීර දේශ සීමා ගැටලුව මේ සඳහා මූලික හේතුවක්.

තවද එවැනි අවදානමක් තිබෙන ප්‍රදේශයක මෙවැනි තරගාවලියක් පැවැත්විය හැකි ද යන්න විමසමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ICC වෙත මෙම ලිපිය යොමු කර ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට ICC හැකියාවක් පවතින්නේ ද යන්න ගැටලුවක් බව ජාත්‍යන්තර විචාරකයින් පවසා සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<