T20 දක්ෂයෝ සොයා යන තරගාවලියකට දින තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

5508

එළඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ සියලුම තරග කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් කණ්ඩායම් 4ක් මේ තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායම්වල නායකයින් සහ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 බැගින් වන සංචිත සකස් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

තරගාවලියේ සියලුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව.2.30ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනට අනුව වැදගත් තරගාවලි කීපයක්ම පැවැත්වීමට නියමිතයි. එබැවින් ඊට අවශ්‍ය තරග පුහුණුව ලබා දීම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී තරග වැදීමට අවස්ථාවක් නොලැබුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීම අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙවැනි ආකාරයේ තරගාවලියක් පැවැත්වීමට තීරණය කළ බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<