හඬ මුසුවෙන් රස මැවූ ඔහු…

Share

ඔබ අසූව දශකයේ හෝ අනූව දශකයේ යම් දිනයක උපත ලැබූවකු නම් රූපවාහිනී දෙබස් හඬ මුසු කළ කාටුන් කලාව සමඟ ඇති ළබැඳියාවට පැහැදිලි කිරිම් අනවශ්‍ය වේ. එය එතරම් ම මෙරට ළමා සංස්කෘතිය හා බැඳී පැවතුනකි. මුල්ම වරට රාජ්‍ය මාධ්‍යය ඔස්සේ ළමා කාටුන් විකාශනය ආරම්භ වූ අතර අනූව දශකයේ අවසන් කාර්තුවේ දී පෞද්ගලික රූපවාහිනී නාලිකා ද ඒ සඳහා සිය දායකත්වය සැපයූහ.

මිත්‍රත්වය, යහපත් ආදර්ශය සහ විනෝදය කැටි කොට දෙබස් මුසු කළ කාටුන් කලාවේ පූරෝගාමී මෙහෙවරක් කළ ඔහු මේ සියල්ලෙහි ම නිහඬ මැදිහත්කරු විය. නමින් එතුමන් තොටවත්තගේ දොන් එමැනුවෙල් ටයිටස් ද සිල්වා නොහොත් අපගේ ආදරණීය “ටයි මාමා”   විය.

රේඛාවෙන් ඇරඹීම

මෙරටින් බිහි වූ විශිෂ්ටත ම සිනමා සංස්කාරකවරයකු සහ පිටපත් රචකයකු ලෙස සැලකෙන ටයිටස් තොටවත්ත මහතා 1929 වසරේ අප්‍රේල් මස 17 දින කොළඹ දී උපත ලබන්නේ පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙසයි.
මෙරට ප්‍රමුඛත ම බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබන එතුමා, විසිහත් වන වියෙහි දී  එනම් 1956 වසරේ දී ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතා අධ්‍යක්ෂණය කළ විලියම් බ්ලේක් විසින් සිනමා රූප ගැන් වූ “රේඛාව” සිනමා නිර්මාණයට සිය සංස්කාරක දායකත්වය ලබාදීමේ අවස්ථාවක් හිමිකරගන්නේ ය. ටයිටස් තොටවත්ත නම් නාමය මුල්ම වරට රීදී තිරයේ නාමාවලියට එක්වන්නේ එහිදී ය. ඔහුව රූපවාහිනී දෙබස් හඬ කැවීම් අධ්‍යක්ෂක භූමිකාවට පමණක් පසු කලක ලඝු කළ ද මෙරට කතාබහට ලක් වූ අතිවිශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක සංස්කාරකවරයා වන්නේ ඔහුයි.
පසු කලක කාටුන් හඬ මුසුවෙහි ද එතුමන් සමර්ථයක් දැක්වූවේ ඔහු සතු සියුම් සංස්කරණ හැකියාව නිසාවෙනි.
1960 වසරේ තිරගත වූ “සන්දේශය” සිනමා නිර්මාණයෙන් සිය දෙවන සංස්කාරක ගමන ඇරඹූ තොටවත්තයන් පිළිවෙළින් 1962 වසරේ “දස්කොන්”, එම වසරේදී ම මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ  “රන්මුතු දූව” සහ  ඉන් වසර දෙකක ඇවෑමෙන් එනම්, 1964 වසරේ පෙබරවාරි මස 24 දින තිරගත වූ “ගැටවරයෝ” සමඟ සිය සංස්කාරක වෘත්තීය වඩාත් පුළුල් කරන්නට විය.

සිය පිටපත් රචනයේ නිසඟ හැකියාව සහ ක්ෂේත්‍රයේ තමන් ලැබූ පළපුරුද්ද උපයෝගී කොට 1965 වසරේ දී ටයිටස් තොටවත්තයන් සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය පරික්ෂාවට නතු කරන්නේ “චණ්ඩියා” සිනමා නිර්මාණය තුළිනි. එහි ලද සාර්ථකත්වය හේතු කොට ඉන් ඉදිරි දශකය පුරාවට තොටවත්ත මහතා චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණය කළ අතර අවාසනාවකට මෙන් 1979 වසරේ තිරගත වූ “හඳයා” සිනමා නිර්මාණයෙන් පසුව නැවත එතුමන් සිනමා පටයක් අධ්‍යක්ෂණයට යොමූ වූවේ නැත.
එතුමන්ගේ සිනමා අධ්‍යක්ෂ ධාරාවේ නොමැකෙන සලකුණ ලෙස 1971 වසරේ දෙසැම්බර් 17 වන දින සිට තිරගතවීම ඇරඹුණු  “හාරලක්ෂය” චිත්‍රපටය හැඳින්විය හැක. නිදහස් ශ්‍රි ලංකාවේ කොළඹ තුරඟ තරග පිටිය අසළ සිදු වූ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය පාදක කොට නිර්මාණය වූ එම සිනමා නිර්මාණය ත්‍රාසය මෙන් ම භීතීය කැටි කෙරූ දර්ශන රාශියකින් සමන්විත සිනමා පටයකි. එය හැඳින්වෙන්නේ මෙරට ප්‍රථම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසයි.

හඳයා…

“කව්රුද ??? කව්රුද ??? දැන් ලොක්කෝ…
අපිමයි… අපිමයි…
දැන් ලොක්කෝ …”

ඉහත පද පෙළ 1979 වසරේ දී ටයිටස් තොටවත්තයන් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ “හඳයා” සිනමා නිර්මාණයෙන් උපුටා ගත්තකි. තොටවත්ත මහතාගේ පද රචනයෙන් සහ සෝමපාල රත්නායක මහතාගේ සංගීතයෙන් හැඩ වූ ඉහත ගීතය, පුරා දශක ගණනාවක් ලාංකීය ළමා පරපුරේ තේමා ගීතය වන තරමට ම ජනප්‍රිය  විය.

බොහෝ සිනමා විචාරක මතයට අනුව හඳයා යනු මෙරට ළමා චිත්‍රපට කලාවේ හැරවුම් ලක්ෂයයි. අතිශය සියුම් පරිකල්පන හැකියාවකින් හෙබි ටයිටස් තොටවත්තයන් විසින් හඳයා චිත්‍රපටයට පාදක වූ සරල සිද්ධි දාමය ළමා මනසට දැනෙන හැඟෙන අයුරින් නිර්මාණය කිරීම වෙනුවෙන් 1980 වසරේ සරසවි සම්මාන රාශියක්  ඔහු හා ඔහුගේ කණ්ඩායමට හිමි වුණි.
අන්තර්ජාතික මට්ටමෙන් ද “හඳයා” සඳහා ගෞරවාන්විත පිළිගැනීමක් ලැබුණු අතර 1980 වසරේ ඉතාලියේ “Giffoni” චිත්‍රපට උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය ටයිටස් තොටවත්තයන්ගේ හඳයා සතු විය. එවැනි ඉතාලි සිනමා උළෙලක් ජයග්‍රහණය කළ මුල් ම ලාංකීය සිනමා නිර්මාණයවන්නේ ද ” හඳයා” යි.

රූපවාහිනීයට පැමිණිම

අසූව දශකයේ මුල් යුගයේ රූපවාහිනී සංස්ථාවට ටයිටස් තොටවත්ත මහතා පැමිණෙන විටත්  එහි හඬ කැවිම් මැදිරියක් නොතිබිණි. රූපවාහිනී  සංස්ථාවට මුල් ම හඬ කැවිම් මැදිරිය ලබාදීමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළේ ද එතුමන් විසිනි. එතුමා එම මැදිරිය හැඳින්වූයේ  “හඬදෙකැවි මැදිරිය” නමිනි. එතැන් සිට තොටවත්තයන් විශ්‍රාම යන තෙක් ම නිර්මාණය කළ සියලු ම නිර්මාණයන් හි තිඹිරිගෙය මෙම හඬ දෙකැවි මැදිරියයි.

විදේශිය රටකින් ගෙන් වූ කාටුන් කතාමාලාවක් හුදෙක් ම පරිවර්තනය කිරීමකින් තොරව අනුවර්තනය කිරීමකට නතු කොට මෙරට ළමා ප්‍රේක්ෂකාගාරයට මුදාහැරීමට ටයිටස් තොටවත්ත මහතා නිරන්තරයෙන් ම උත්සාහ කළේ ය. එම නිසා ම ඒ සියලු ම කතා මාලා දශක ගණනාවක් ගෙවුණ ද මෙරට සංස්කෘතිය හා  බද්ධ වන  තරමට ම සමීප විය. එතුමන්ගේ පරිකල්පනය අනුව ‘Bugs Bunny’ කාටුනය ‘හා හා හරි හාවා’ වූ අතර 1971 වසරේ එක්සත් ජනපදයේ විකාශය වූ ‘Dr. Dolittle’ කතාමාලාව ‘දොස්තර හොඳ හිත’ නමින් විකාශය කෙරිණි. හැටේ දශකයේ ඇමෙරිකාවේ  විකාශය වූ ‘Top Cat’ කාටූන් කතා මාලාව මෙරටට පැමිණෙන විට ‘පිස්සූ පූසා’ නමින් වෙනස් ම හැඩයක් ගැන්වීමට තරම් එතුමන් සූක්ෂ්ම විය. ඉන්දීය සරල ගැමි සංස්කෘතිය පාදක කොට ආර්. කේ. නාරායන් විසින් 1943 වසරේ රචිත ‘මල්ගුඩි දවස’ කෙටිකතා ග්‍රන්ථය  පාදක කොට  නිර්මාණය වු  ‘Mulgudi days’ ටෙලි කතා මාලාවට හඬ මුසු කළ තොටවත්තයන් එය ‘මල්ගුඩි දවස’ නමින් විකාශය කරන්නට වූයේ ය. එය එකල මෙරට ප්‍රේක්ෂකාගාරය ඉතා ආදරයෙන් වැළඳගත්තේ ය.

එතුමන්ගේ විචිත්‍රවත් හඬකැවිම් දිවියේ වඩාත් ම කැපී පෙනෙන කඩයිම, “ඔෂින්” කතා මාලාවයි. එම ජපන් කතා මාලාව මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන් අසීමිත ව ආදරය කළ නිර්මාණයකි. 1983 වසරේ සිට 1984 වසර දක්වා වූ කාල පරාසය තුළ ජපානයේ කොටස් 297 ක් පුරා  විකාශය වූ  එය, පසුව රටවල්  68 ක් විසින් පරිවර්තනය කොට විකාශය කෙරිණි.
දිරිමත් ජපන් කාන්තාවකගේ දිවියේ හරස්කඩක් විදහා දැක් වූ එම නිර්මාණය මෙතරම් ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට හේතුව වූයේ ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශීලී පරිවර්තිත පිටපත සහ එහි හඬ මුසු කළ හඬකැවිම් ශිල්පීන්ගේ දක්ෂතාවයයි. මෙයට අමතරව ‘රොබින්සන් කෲසෝ’, ‘මනුතාපය’, ‘යවෙස් ලූ මිනිසා’, ‘ගලිවරයන්ගේ සුවිසැරිය’, ‘සුරංගනා කතා කරළිය’, ‘පිනෝකියෝ’, ‘සිටුවර මොන්ත ක්‍රිස්තෝ’ සහ ‘වලස් මාමා’ එතුමන්ගේ අධ්‍යක්ෂණය යටතේ හඬ කැවූ තවත් නිර්මාණ කිහිපයකි. හඬ කැවීමට අමතරව උපසිරැසි ගැන්වීම මඟින් ද ටයි මහතා මෙරටට නවමු අත්දැකීමක් ලබාදුන්නේ ය. 1984-1986 කාල පරාසය තුළ එංගලන්තයේ විකාශය වූ ‘ෂර්වුඩයේ රොබින් හූඩ්’ ටෙලි කතාව උපසිරැසි ගන්වා විකාශය කිරීමට එතුමා මුල් වූයේ ය.

ටයි මාමා…

විදේශීය කාටූන් කතා මාලාවක් සිංහලට හඬ කැවීමේ දී මෙරටට ගැළපෙන අන්දමින්  නිර්මාණය කළ නිසාවෙන් ම එතුමා මෙරට ළමා පරපුර අතර “ටයි මාමා” නමින් ආදර ගෞරවයට පාත්‍ර විය. එතුමන්ට ඒ කාර්‍යර්‍ය වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා ලේඛකයාගේ පෑන් තුඩේ සහාය සහ සෝමපාල රත්නායකයන්ගේ සංගීත භාවිතය ද  මනා ලෙස උපකාරී විය.

ස්වභාවයෙන් ම ටයි මහතා තරමක් දැඩි පුද්ගලයකු විය. එකල රූපවාහිනී සංස්ථාවේ ප්‍රකට ම කියමන වූයේ, “ටයි මහත්තයා එක්ක නම් වැඩ කරන්න බෑ…” යන්නයි. නමුත් එතුමා විසින් ගුරුහරුකම් ලබා දී පෝෂණය කළ අතුල රන්සිරිලාල් වැනි නිර්මාණවේදින් තොටවත්තයන්ගේ යුගයෙන් පසුව මෙරට හඬ කැවීම් ක්ෂේත්‍රයේ සුවිශාල වෙනසකට මඟ කීමට ද සමත් විය.

2011 වසරේ ඔක්තෝබර් මස 15 දින කොළඹ පෞද්ගලික රෝහලක දී එතුමන් තම වසර 84 ක දිවිගමන හමාර කළ අතර පුරා දශක දෙකක් පුරාවට මෙරට ළමා පරපුරේ ආදරණීය කතා මවන්නා වූ ටයිටස් තොටවත්තයන්ට ගෞරව කිරීමක් වශයෙන් රූපවාහිනී සංස්ථාවේ  හඬකැවිම් මැදිරිය “ටයිටස් තොටවත්ත සංස්කරණ මැදිරිය” නමින් නම් කළේ ය. අදටත් එම මැදිරිය හැඳින්වෙන්නේ ඒ නමිනි. මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් මෙන් ම ළමා මනසේ රසවින්දනය වෙනුවෙන් නිහඬ සේවයක් කළ ආදරණීය ටයිටස් තොටවත්තයන් ගේ දොස්තර හොඳ හිත කතා මාලාවේ එක් ගීත ඛණ්ඩයකින් ඉහත ලිපිය හමාර කරන්නෙමි.

“අපි හැදුණේ රට රකින්න බැහැයි කියලා බෑ…
රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියලා බෑ…
යුතුකම් ඇත ඉටු කරන්න බැහැයි කියලා බෑ…
නඟේ… මලේ… කිසිම දෙයක් බැහැයි කියලා බෑ…”

මෙම කියමන දශක තුනක් ඉක්ම වන අද දිනටත් වලංගු නොවේ ද ?

 

Written by: Theekshana Manujaya

Image courtesy: https://bit.ly/3litGKa

 
Tagged : / /