ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාවන් තිදෙනා ජැමෙයිකාවෙන්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

2438

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (31) පැවති කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් තරගයෙන් නව ඔලිම්පික් වාර්තාවක් සමඟ පදක්කම් තුනම ජයග්‍රහණය කිරීමට ජැමෙයිකානු ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමත් වුනා. මේ අද දවසේ විශේෂ සිදුවීම් කිහිපයක්.

මලල ක්‍රීඩා (Athletics)

කාන්තා මීටර් 100 ධාවන ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට Elaine Thompson Herah සමත් වුනේ තත්පර 10.61ක කාලයක් වාර්තා කරමින්. තත්පර 10.74කින් ඉසව්ව නිමා කළ Shelly-Ann Fraser-Pryce හට රිදී පදක්කම හිමි වූ අතර තත්පර 10.76ක කාලයක් වාර්තා කළ Shericka Jackson හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

Elaine Thompson විසින් බිඳ හෙළනු ලැබුවේ 1988 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ Florence Griffith Joyner විසින් පිහිටවූ ඔලිම්පික් වාර්තාව (10.62) වන අතර මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවමත් Florence Griffith සතු වීම විශේෂත්වයක්. 

Elaine Thompson Herah විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද කාන්තා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළ අතර එහි ලෝකඩ පදක්කම Shelly-Ann Fraser-Pryce හට හිමි වුනා. 

පිරිමි කවපෙත්ත විසි කිරීම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ස්වීඩනයේ Daniel Ståhl සමත් වුනේ මීටර් 68.90ක දක්ෂතාවයක් දක්වමින්. මීටර් 67.39ක දක්ෂතාවයක් දැක්වූ ස්වීඩනයේම Simon Pettersson හට රිදී පදක්කම හිමි වන විට මීටර් 67.07ක දක්ෂතාවයක් දැක්වූ ඔස්ට්‍රියාවේ Lukas Weißhaidinger හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

2016 රියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් පෝලන්තයේ Piotr Małachowski හට සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවත් වීමට සිදුවීම සහ ලෝකඩ පදක්කම දිනා ගත් ජර්මනියේ Daniel Jasinski හට අවසන් තරගයෙන් 10 වැනි ස්ථානය හිමි වීම විශේෂත්වයක්. 

නව ක්‍රීඩා ඉසව්වක් ලෙස මෙවර ඔලිම්පික් උළෙලට එක්වූ මිශ්‍ර 4×400m relay ඉසව්වේ රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට පෝලන්ත කණ්ඩායම සමත් වුනා. Karol Zalewski, Natalia Kaczmarek, Justyna Święty-Ersetic සහ Kajetan Duszyński යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පෝලන්ත කණ්ඩායමේ දක්ෂතාවය ලෙස දැක්වුණේ මිනිත්තු 3:09.87ක්. 

මිනිත්තු 3:10.21ක කාලයක් වාර්තා කරමින් ඩොමිනිකන් ජනරජ කණ්ඩායම රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ දක්ෂතාවය මිනිත්තු 3:10.22ක් ලෙස දැක්වුනා.

පිහිනුම් (Swimming) 

පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්වේ අවසන් තරගයේ දී තත්පර 49.45ක දක්ෂතාවයක් දැක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ Caeleb Dressel විසින් රන් පදක්කම හිමිකර ගත්තේ නව ලෝක වාර්තාවක් සමඟ නව ඔලිම්පික් වාර්තාවක් බිහිකරමින්. 

රිදී පදක්කම තත්පර 49.68ක කාලයක් වාර්තා කළ හංගේරියාවේ Kristóf Milák විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වූ ස්විස්ටර්ලන්තයේ Noè Pontiගේ දක්ෂතාවය ලෙස දැක්වුණේ තත්පර 50.74ක් ලෙසයි. 

පෙර ලෝක වාර්තාවට (49.50) ද හිමිකම් කියන Caeleb විසින් මෙවර ඔලිම්පික් උළෙලේ සහභාගී වූ පළමු තරගයේ සිටම ඔලිම්පික් වාර්තා බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්. මෙම ඉසව්වේ පෙර ඔලිම්පික් වාර්තාව (50.39) 2016 වසරේ දී සිංගප්පූරුවේ Joseph Schooling විසින් පිහිටුවා තිබූ අතර එය Caeleb සහභාගී වූ පළමු තරගයෙන්ම බිඳ හෙළුවේ තත්පර 50.39ක දක්ෂතාවයක් දක්වමින්. 

ඉන්පසුව Caeleb විසින් අවසන් පූර්ව වටයේ දී තත්පර 49.71ක දක්ෂතාවයක් දක්වමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. ඔලිම්පික් රන් පදක්කම් ලාභී Joseph Schooling හට මූලික තරග වටය අවසානයේ දී 44 වැනි ස්ථානයට පත්වීම තවත් විශේෂ සිදුවීමක්. 

මෙවර ඔලිම්පික් උළෙලේ දී ප්‍රථම වරට පැවති මිශ්‍ර 4×100m medley relay ඉසව්වේ රන් පදක්කම මහා බ්‍රිතාන්‍යය (Kathleen Dawson, Adam Peaty, James Guy සහ Anna Hopkin) කණ්ඩායම විසින් හිමිකර ගත්තේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. 

බ්‍රිතාන්‍යය කණ්ඩායම මිනිත්තු 3:37.58ක දක්ෂතාවයක් දැක්වූ අතර පෙර ලෝක වාර්තාවට (3:38.41) හිමිකම් කියූ චීනය (Xu Jiayu, Yan Zibei, Zhang Yufei සහ Yang Junxuan) මිනිත්තු 3:38.86ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තා. 

මිනිත්තු 3:38.95ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව නිමා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම (Kaylee McKeown, Zac Stubblety-Cook, Matthew Temple සහ Emma McKeon) විසින් ලෝකඩ පදක්කම හිමි කරගත්තා. 

කාන්තා මීටර් 800 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Katie Ledecky (8:12.57) සමත් වුනා. එහි රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus (8:13.83) විසින් දිනා ගන්නා විට ඉතාලි ජාතික Simona Quadarella (8:18.35) විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. මෙම ඉසව්වේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාව ද වන මිනිත්තු 8:04.79ක වාර්තාව Katie Ledecky සතුව පවතිනවා. 

ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown විසින් මෙවර ඔලිම්පික් උළෙලේ දිනා ගත් දෙවැනි රන් පදක්කම ලෙස කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ මිනිත්තු 2:04.68ක දක්ෂතාවයක් දක්වමින්. එහි රිදී පදක්කම කැනඩාවේ Kylie Masse (2:05.42) විසින් හිමි කර ගත් අතර ඕස්ට්‍රේලියාවේ Emily Seebohm (2:06.17) හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

සත්සාමාජික රග්බි (Rugby 7s) 

කාන්තා සත්සාමාජික රග්බි ඉසව්වේ අවසන් මහා තරගයේ දී ලකුණු 26-12ක් ලෙස ප්‍රංශය පරාජයට පත්කරමින් රන් පදක්කම හිමිකර ගැනීමට නවසීලන්ත කාන්තා රග්බි කණ්ඩායම සමත් වුනා. 

ලෝකඩ පදක්කම සඳහා ෆීජී කණ්ඩායම සමඟ මහා බ්‍රිතාන්‍යය තරග වැදුණු අතර එහි දී ලකුණු 21-12ක් ලෙස ජයග්‍රහණය කිරීමට ෆීජී කණ්ඩායම සමත් වුනා. 

බර එසවීම (Weightlifting) 

පිරිමි 81kg බර පන්තිය යටතේ තරග වැදුණු චීනයේ Lü Xiaojun නව ඔලිම්පික් වාර්තා තුනක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. Xiaojun විසින් Snatch ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 170, Clean & Jerk ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 204 සමඟ ඔහු විසින් එසවූ මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 374 ද නව ඔලිම්පික් වාර්තා ලෙස සටහන් වුනා. මෙම බර පන්තියේ Clean & Jerk ක්‍රමයේ (207 kg) සහ මුළු බර ප්‍රමාණයේ (378 kg) ලෝක වාර්තාව ද ඔහු සතුව පවතිනවා.

Lü Xiaojun
(Lü Xiaojun අවසන් තරගයේ බර ඔසවමින්)  ඡායාරූපය – olympics.com

ඩොමිනිකන් ජනරජයේ Zacarías Bonnat විසින් රිදී පදක්කම හිමිකර ගත් අතර ඉතාලියේ Antonino Pizzolato හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

පිරිමි 96kg බර පන්තිය නියෝජනය කරන කටාර් රාජ්‍යයේ Fares Ibrahim විසින් නව ඔලිම්පික් වාර්තා දෙකක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. ඔහු විසින් Clean & Jerk ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 225 සහ මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 402 නව ඔලිම්පික් වාර්තා ලෙස සටහන් වූ අතර Snatch ක්‍රමයට ඔහු එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 177ක්. 

මෙම ඉසව්වේ රිදී පදක්කම වෙනිසියුලාවේ Keydomar Vallenilla විසින් දිනා ගත් අතර ජෝර්ජියාවේ Anton Pliesnoi හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

ටෙනිස් (Tennis) 

චෙක් ජනරජය නියෝජනය කරන Marketa Vondrousova සහ ස්විස්ටර්ලන්තයේ Belinda Bencic අතර කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා පැවති තරගයෙන් ලකුණු 5-7, 6-2 සහ 3-6ක් ලෙස තරග වට 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Belinda Bencic සමත් වුනා. 

යුක්‍රේනයේ Elina Svitolina සමඟ කසකස්තානයේ Elena Rybakina ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු අතර එහි දී ලකුණු 1-6, 6-7 සහ 6-4ක් ලෙස තරග වට 2-1ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට Elina Svitolina සමත් වුනා. 

බැඩ්මින්ටන් (Badminton) 

පිරිමි යුගල ඉසව්වේ රන් පදක්කම සඳහා චීන තායිපේ නියෝජනය කරන Lee Yang සහ Wang Chi-lin සමඟ චීනයේ Li Junhui සහ Liu Yuchen තරග වැදුණා. එහි දී ලකුණු 21-18ක් සහ 21-12ක් ලෙස තරග වට 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට චීන තායිපේ කණ්ඩායම සමත් වුනා. 

ලෝකඩ පදක්කම සඳහා මැලේසියාවේ Aaron Chia සහ Soh Wooi Yik සමඟ ඉන්දුනීසියාවේ Mohammad Ahsan සහ Hendra Setiawan තරග වැදුණා. එහි දී ලකුණු 17-21, 21-17 සහ 21-14ක් ලෙස තරග වට 2-1ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වුනේ මැලේසියාවේ Aaron Chia සහ Soh Wooi Yik. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

වෙඩි තැබීම (Shooting) 

මිශ්‍ර trap team ඉසව්ව 

  1. රන් පදක්කම – Fátima Gálvez සහ Alberto Fernández (ස්පාඥ්ඥය) 
  2. රිදී පදක්කම – Alessandra Perilli සහ Gian Marco Berti (සැන් මැරීනෝ) 
  3. ලෝකඩ පදක්කම – Madelynn Bernau සහ Brian Burrows (ඇමරිකා එක්සත් ජනපදය) 

කාන්තා 50m rifle three positions

  1. රන් පදක්කම – Nina Christen (ස්විස්ටර්ලන්තය) 
  2. රිදී පදක්කම – Yulia Zykova (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Yulia Karimova (රුසියානු ඔලිම්පික් කමිටුව) 

ඔරු පැදීම (Sailing) 

කාන්තා RS:X ඉසව්ව 

  1. රන් පදක්කම – Lu Yunxiu (චීනය) 
  2. රිදී පදක්කම – Charline Picon (ප්‍රංශය) 
  3. ලෝකඩ පදක්කම – Emma Wilson (මහා බ්‍රිතාන්‍යය) 

පිරිමි RS:X ඉසව්ව 

  1. රන් පදක්කම – Kiran Badloe (නෙදර්ලන්තය) 
  2. රිදී පදක්කම – Thomas Goyard (ප්‍රංශය) 
  3. ලෝකඩ පදක්කම – Bi Kun (චීනය) 

කඩු හරඹ (Fencing) 

කාන්තා කණ්ඩායම් sabre ඉසව්ව 

  1. රන් පදක්කම – Sofya Velikaya, Sofia Pozdniakova, Olga Nikitina සහ Svetlana Sheveleva (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Sara Balzer, Cécilia Berder, Manon Brunet සහ Charlotte Lembach (ප්‍රංශය) 
  3. ලෝකඩ පදක්කම – Kim Ji-yeon, Yoon Ji-su, Seo Ji-yeon සහ Choi Soo-yeon (දකුණු කොරියාව) 

ජූඩෝ (Judo) 

මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව 

  1. රන් පදක්කම – ප්‍රංශය 
  2. රිදී පදක්කම – ජපානය  
  3. ලෝකඩ පදක්කම – ජර්මනිය සහ ඊශ්‍රායලය 

දුනු විදීම (Archery) 

පිරිමි කේවල ඉසව්ව 

  1. රන් පදක්කම – Mete Gazoz (තුර්කිය) 
  2. රිදී පදක්කම – Mauro Nespoli (ඉතාලිය) 
  3. ලෝකඩ පදක්කම – Takaharu Furukawa (ජපානය) 

Gymnastics 

පිරිමි trampoline ඉසව්ව 

  1. රන් පදක්කම – Ivan Litvinovich (බෙලරූස්) 
  2. රිදී පදක්කම – Dong Dong (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Dylan Schmidt (නවසීලන්තය) 

තුන්ප්‍රයාම (Triathlon) 

මිශ්‍ර relay ඉසව්ව 

  1. රන් පදක්කම – මහා බ්‍රිතාන්‍යය (Jessica Learmonth, Jonathan Brownlee, Georgia Taylor-Brown සහ Alex Yee) 
  2. රිදී පදක්කම – ඇමරිකා එක්සත් ජනපදය (Katie Zaferes, Kevin McDowell, Taylor Knibb සහ Morgan Pearson) 
  3. ලෝකඩ පදක්කම – ප්‍රංශය (Léonie Périault, Dorian Coninx, Cassandre Beaugrand සහ Vincent Luis)  

මෙවර ඔලිම්පික් උළෙලේ අටවැනි දිනය (31) අවසන් වන විට පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ප්‍රබල චීනය විසින් හිමි කරගෙන තිබෙන්නේ රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 12ක් ජයග්‍රහණය කරමින්. 

දෙවැනි ස්ථානය රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනාගෙන තිබෙන සත්කාරක ජපානයට හිමිව තිබෙන අතර ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමඟින් තෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

හෙට (01) දිනයේ දී මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන අවසන් තරග 25ක් පැවැත්වීමට නියමිතයි.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<