ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට්වලට තිත තබයි

817

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සඳහා සමුදීමට අද (31) තීරණය කර තිබෙනවා.

ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම තීරණයට එළඹි බවයි. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස ද ඉසුරු උදාන දක්වා ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

33 හැවිරිදි උදාන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 35කට සහ එක්දින තරග 21කට ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ඔහු පිළිවෙළින් කඩුලු 27ක් සහ කඩුලු 18ක් දවාගෙන තිබෙනවා. ඊට අමතරව ඔහු ලබාගෙන තිබෙන සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 493ක් වෙනවා.

2009 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් උදාන 2012 වසරේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.

ශූරයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියක දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා වන උදාන, IPL තරගාවලිය ඇතුළු ලොව පුරා පැවැත්වුණු ලීග් ක්‍රිකට් තරගාවලි රැසක් ක්‍රීඩා කළා.

ඉසුරු උදාන සිය සමුදීම පිළිබඳ Twitter සටහනක් ද මෙසේ තබා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<