බොක්සිං වළල්ලේ ලාංකීය අභිමානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 31, 2021

බොක්සිං වළල්ලේ ලාංකීය අභිමානය

ඉතිහාසයේ පළමු වරට, ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව නෙල්කා ශිරෝමාලාය‍. 

නෙල්කා, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකි. ටෝකියෝ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ බොක්සිං තරග තීරකවරියක මෙන්ම විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට නෙල්කා සමත් වීම, ඇයට පමණක් නොව ලාංකික අප කාටත් ආඩම්බරයකි. 

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් වශයෙන් පොලිස් සේවයට එක්වුණු නෙල්කා, 2001 වසරේදී, පොලිස් ක්‍රීඩා සාමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ද වෙයි.

2001 සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බොක්සිං තරඟාවලි සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ ජයග්‍රහණයන් අත්කර දී දුන් අතර, අඛණ්ඩව වසර 5 ක් දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනා ගැනීමට නෙල්කා සමත් වූවාය. 

නෙල්කා 2009 වසරේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වු බොක්සිං තරඟ තීරක වශයෙන් සමත්ව, 2011 වර්ෂයේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරඟ විනිසුරුවරියක වශයෙන් උසස්වීම් ලබා ලැබූ අතර, 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාස ගතවූවාය. 

2011 වසරේ ලන්ඩන් ඔලිම්පික් පූර්ව තේරීම් තරඟාවලියට සහභාගී වීමට ද ඒ අනුව නෙල්කාට අවස්ථාවක් ලැබුණි. 2013 වසරේ ඉතාලියේ කතානියා නගරයේ පැවැති බොක්සිං තරග තීරක විනිසුරු විභාගයෙන් සමත්ව අන්තර්ජාතික 3 වැනි පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබූ නෙල්කා, බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලය ලබා ඇති දක්ෂ පොලිස් නිලධාරිනියකි. 

ශ්‍රී ලංකාවේ පමණක් නොව, අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වැනි පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරියක් වීමේ ගෞරවය ද ඇය හිමිකරගෙන තිබේ. කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ වනවිට ලෝක ශූරතා පිරිමි බොක්සිං තරගාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලිය විනිශ්චය සඳහා සහභාගි වූ ප්‍රථම කාන්තා නියෝජනය වන්නේ ද ඇයයි. 

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලි ඔලිම්පික් තේරීම් තරගාවලි, ආසියානු මහද්වීප බොක්සිං තරග, අග්නිදිග ආසියානු බොක්සිං තරග හා වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරග රැසක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ද ඉමහත් ගෞරවයක් ගෙනදීමට නෙල්කා සමත් වී සිටී. 

2017 වසරේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානයද ඇය විසින් හිමිකරගෙන ඇති අතර, එය ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක් ලබාගත් ප්‍රථම අවස්ථාව ද වෙයි.

෴ උපුටා ගැනීම - Police Media Division

Classified_Ad

Classified_Ad_News_Bottom