ටෝකියෝ යන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට Dialog සවිබලය

2020 ගිම්හාන පැරාලිම්පික් උළෙල

510

ජපානයේ ටෝකියෝ හී පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා අගෝස්තු මාසයේ දී මෙරටින් පිටත් වීමට නියමිත, හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ නායකත්වයෙන් යුතු 9 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC විසින් බලගන්වනු ලබයි. 

2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේ දී මීටර 400 T46 කාණ්ඩයෙන් තත්පර 49.28ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ප්‍රදීප් සංජය විසින් ලෝකඩ පදක්කම දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව විසින් පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්විය. 

අනතුරුව යෙදුණු 2016 රියෝ පැරාලිම්පික් උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් පිරිමි හෙල්ල විසිකිරීම F46 කාණ්ඩයේ දී මීටර 58.23ක දක්ෂතාවක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි. එසේම 2019 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවේ දී අදාළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් විය.

මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වන 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් ජාතික ධජය රැගෙන යෑම හෙල්ල විසිකිරීම F46 කාණ්ඩයෙන් තරග වදින දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත පැවරි ඇත. 

F44 සහ F64 කාණ්ඩවලින් හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා තරග වදින පිළිවෙළින් සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි,  යගුලිය විසිකිරීමේ ඉසව්වට F42 කාණ්ඩයෙන් තරග වදින පාලිත බණ්ඩාර, මීටර 400 ඉසව්වේ T47 කාණ්ඩයෙන් තරග වදින මධුරංග සුබසිංහ, මීටර 100 T45/46 කාණ්ඩයට සහ දුර පැනීම ඉසව්වට තරග වදින කුමුදු ප්‍රියංකා සමඟින් රෝදපුටු ටෙනිස් ඉසව්වට තරග වදින රංජන් ධර්මසේන, දුනු විදීමේ ඉසව්වට සහභාගී වන සම්පත් බණ්ඩාර සහ ඔරුපැදීම ඉසව්වට සහභාගී වන මහේෂ් ජයකොඩි එම කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම සවිබල ගන්වනු ලබන, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම, දේශීය පැරා ක්‍රීඩා ක්ෂේත්‍රය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ බැඳී සිටින්නෙකි. 

ජාතික පැරාලිම්පික් කමිටුවේ සහ 2015 සිට ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල කමිටුවේ  සාඩම්බර අනුග්‍රාහකයා වන Dialog, ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල වෙනුවෙන් ද 2000 වසරේ දී පළමු වරට අනුග්‍රහය දැක්වූ අතර අනතුරුව 2004, 2008 සහ 2012 දී ද ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට අනුග්‍රහය දක්වන ලදි.

මෙම ටෝකියෝ පැරාලිම්පික් ශ්‍රී ලංකා නියෝජනයේ කණ්ඩායම් ප්‍රධානී ලෙසින් කටයුතු කරන මේජර් ජෙනරාල් ජේ. ආර්. අම්පෙමොහොට්ටි අදහස් දක්වමින්, “ලන්ඩන් සහ රියෝ යන අවසන් පැරාලිම්පික් උළෙල දෙකේ දී ම පදක්කම් දිනා ගැනීමට සමත් වෙමින් ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයන් ප්‍රශංසනීය දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් පුහුණු කටයුතු වෙනුවෙන් පැනවුණු සීමා කිරීම් මධ්‍යයේ වුවද, අප කණ්ඩායම පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් මහත් වෙහෙස මහන්සියෙන් කැප වුනා. ඉතිං අප සිතනවා මෙවර ටෝකියෝවේ දී අපට වැඩි පදක්කම් ගණනක් දිනා ගැනීමට හැකි වෙයි කියලා”, යනුවෙන් පවසන ලදි. 

“එසේම අපට දැවැන්ත ශක්තියක්, ධෛර්යයක් වෙමින් මෙරට පැරා ක්‍රීඩාව සමඟ දීර්ඝ කාලයක් පුරා රැඳී සිටීම සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන Dialog Axiata සමාගමට මගේ ස්තුතිය පිරිනැමෙනවා. ජාතික සහ ජාත්‍යන්තර තලයේ දී ඔවුන් විසින් වෙහෙස නොබලා ලබා දෙන මේ සවිබලය අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රට වෙනුවෙන් ගෞරව දිනා දීමට මහඟු උපකාරයක් වෙනවා”, යැයි මේජර් ජෙනරාල් අම්පෙමොහොට්ටි වැඩිදුරටත් පැවසීය.

“මෙරට ජාතික තලයේ ක්‍රීඩාවන්හී ගැඹුරට මුල්බැසගත් සමාගමක් ලෙසින් ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ දශකයටත් අධික කාලයක් පුරා පැවත එන අපගේ සබඳතාව තව දුරටත් පෙරට රැගෙන යෑමට හැකි වීම ගැන ආඩම්බර වෙනවා”, යි Dialog Axiata සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම සහ මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා පැවසීය. 

“ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයේ පවා ඉහළ දක්ෂතා දැක්විය හැකි බව අපේ පැරාලිම්පික් ක්‍රීඩකයන් විසින්, ඔවුන්ගේ මෑතකාලීන ජයග්‍රහණ මතින් පෙන්වා තිබෙනවා. 2020 ටෝකියෝ උළෙලේ දී ඔවුන්ට ජයග්‍රාහී ප්‍රතිඵල අත්වේවා යැයි මා ප්‍රාර්ථනා කර සිටිනවා” යැයි සමරනායක මහතා මෙම කණ්ඩායමට සිය සුබාශිංසන එක් කරමින් ප්‍රකාශ කළේය.

Photos: NPC Press Conference targetting Tokyo Paralympic Games

Dialog Axiata ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

2020 ගිම්හාන ඔලිම්පික් උළෙල අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ පවත්වන්නට නියමිත ව තිබුණු තරගාවලිය මේ වසර දක්වා කල් දැමුණේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙනි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මෙන්ම 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ සිරි අසිරිය ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<