චීන විදෙස් ඇමැති තලේබාන් නියෝජිතයන් හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 29, 2021

චීන විදෙස් ඇමැති තලේබාන් නියෝජිතයන් හමුවෙයි

ඇෆ්ගන් තලේබාන් නියෝජිතයන් කණ්ඩායමක් සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතර හමුවක්, උතුරුදිග චීනයේ ටියැංජියැං නගරයේ පැවැත්විණි. 

තලේබාන් සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත එම නියෝජිත කණ්ඩායම, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු දිග චීනයට පැමිණ ඇත්තේ පාකිස්තානය හරහා පාකිස්තාන රජයේ ද විශේෂ අනුග්‍රහයක් යටතේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

තලේබාන් සාමාජිකයන් සහ චීනය අතර යහපත් සබඳතා ඇති කිරීමේදී නිල නොලත් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. ඇෆ්ගන් සංග්‍රමය අවසන් කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටවීම ආරම්භ කර තිබේ. 

විදෙස් හමුදා පිටවී යන්නේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළකට මඟ සකස් කර දීමෙන් ද පසුවය. කෙසේ නමුත්, මේ වනවිට තලේබාන්වරුන් ඇෆ්ගන් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර ඇතැයි පැවැසෙයි. විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු, ඇෆ්ගන් වැසියන්ගේ යටිතල පහසුකම් නංවමින්, එරට සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වීමට චීනය බලාපොරොත්තු වෙයි. 

මේ සම්බන්ධයෙන් චීන නියෝජිතයන්, එරට හමුදා ප්‍රධානීන් සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයන් අතරේ ද සාකච්චා පැවැත්වීම සිදුවෙයි. චීනය, පාකිස්තානය හරහා අරාබි මුහුද දක්වා ඔවුන්ගේ නව සේද මාර්ගය පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, එම සේද මාවත වැටී ඇත්තේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හරහාය. 

මේ වනවිටත් පාකිස්තානයේ චීන අනුග්‍රහයෙන් අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී. ඒ, ඒවා ඇෆ්ගනිස්තානයට සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙනි. 

ඇෆ්ගන් රජයට ණය ලබා දෙමින්, එම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නම්, චීනයට ඇෆ්ගන් රජයේ සහාය පමණක් නොව, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සහාය ද අවශ්‍ය වෙයි. දෙදින සංචාරය අතරතුරේ චීන ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට තලේබාන් නියෝජිතයන්ට අවස්ථාවක් උදා වූ බව පැවැසෙයි.

'ඇෆ්ගනිස්තානයේ සාමය සහ සමෘද්ධිය වෙනුවෙන්, චීනයේ සහාය අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ඇෆ්ගන් භූමිය තුළ චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්න අප ප්‍රතිඥා දෙනවා' චීන විදේශ අමාත්‍යවරයා හමුවීමෙන් පසු ඇෆ්ගන් තලේබාන් සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි. 

'තලේබාන් නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි. දශක ගණනාවක් තිස්සේ විදෙස් හමුදා ආක්‍රමණ හේතුවෙන් පීඩාවට පත්වුණු ඇෆ්ගන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, විනාශ වුණු ඇෆ්ගනිස්තානය සංවර්ධනය කිරිමටත් අවශ්‍ය මූල්‍ය සහාය සහ ණය ආධාර ලබා දෙන්න චීනය සූදානම්. ඒ සඳහා ඇෆ්ගන් රජයේ බමණක් නොව තලේබාන් සංවිධානයේ ද සහාය චීනයට අවශ්‍ය වෙනවා. එය ලබාදීමට තලේබාන් සංවිධානය කැමැත්ත පළ කර තිබෙනවා' යැයි තලේබාන් නියෝජිතයන් හමුවීමෙන් පසු චීන විදේශ අමාත්‍ය වැංග් යී මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

චීනයට පැමිණි තලේබාන් නියෝජිතයන් කණ්ඩායමට නායකත්වය දුන් බව පැවැසෙන්නේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක මුල්ලා බරඩාර්ය. මුල්ලා බරඩාර් සහ චීනය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිතවරයා අතරේ ද මීට පෙර අවස්ථා කීපයකදී සාකච්ඡා පැවැත්විණි. නියෝජිත කණ්ඩායම චීනයට පැමිණ චීන විදේශ ඇමැති හමුවී සාකච්ඡා කළේ ඉන් අනතුරුවය. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom