රන් පොරොන්දුව කඩ නොකළ බීජිං ඔලිම්පික් උළෙලේ ප්‍රේමණීය ශක්තිවන්තයා

Share

ග්‍රීසියේ ඔලිම්පියා නගරයේ සියුස් දෙවියන්ට උපහාර පිණිස ඇරඹි ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්තමානය වන විට ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහා මෞලි මංගල්‍යය ලෙස හැඳින්වේ. තම ක්‍රීඩා දිවියේ එක් වරක් හෝ ඔලිම්පික් උළෙලක් නියෝජනය කර ජයග්‍රහණය ලබා ගැනීම සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ ම අරමුණයි. මැතියස් ස්ටයිනර්ට ද එය එසේ ම  විය.

මැතියස් ස්ටයිනර් උපත ලබන්නේ ඔස්ට්‍රියාවේ වියානාවේ දී ය. කුඩා කල සිට ඔහුගේ අරමුණ වූයේ බර ඉසිලීමේ තරඟ සඳහා සහභාගී වී ජයග්‍රහණ ලබා ගැනීමයි. ඒ සඳහා කැප වී ක්‍රියා කළ මැතියස් ඔස්ට්‍රියාව නියෝජනය කරමින් යුරෝපීය ශූරතාවලීන් හා ලෝක ශූරතාවලීන් කිහිපයක් ම ජයග්‍රහණය කර ඇත. එපමණක් නොව 2004 වර්ෂයේ දී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පැවති ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට තරම් වාසනාවන්තයෙකු විය. එහෙත් සෑම ක්‍රීඩකයෙකුගේ ම මෙන් ම ඔහුගේ ද අධිෂ්ඨානය වූයේ ද ඔලිම්පික් පදක්කමක පහස ලබා ගැනීම ය.

2005 වර්ෂය වන විට මැතියස් ස්ටයිනර්ගේ දෛවය අලුතින් ලිය වෙමින් පැවතිණි. මැතියස් ක්‍රීඩා කරන තරඟයක් රූපවාහිනියෙන් නැරඹූ සුසෑන් නම් ජර්මානු ජාතික තරුණිය “යූරෝස්පෝර්ට්” නම් රූපවාහිනී නාලිකව හරහා මැතියස්ගේ විද්‍යුත් තැපෑලේ ලිපිනය සොයා ගත්තා ය. පසුව ඔවුන් දෙදෙනා කතා බහ කර දැන හඳුනාගත් පසු තම ජීවිතයට ගැළපෙන ම සහකාරිය සුසෑන් බව මැතියස්ට තේරුම් ගියේ ය. එකිනෙකාට බෙහෙවින් ම ප්‍රේම කළ එම දෙපළ 2005 වර්ෂයේදී ම විවාහ වූහ.

මේ වන විට මැතියස් හා ඔස්ට්‍රියානු බර උසුලන්නන්ගේ සංගමය අතර විවිධ මත භේද හටගෙන තිබිණි. ඒ අනුව ඔස්ට්‍රියාව අතහැර සුසෑන්ගේ මවුරට වන ජර්මනියට පදිංචියට යෑමට ස්ටයිනර් යුවළ තීරණය කළහ. අනතුරුව මැතියස් ජර්මානු පුරවැසිභාවයට අයදුම් කළ අතර පුරවැසිභාවය ලැබෙන තුරු ඔහුට ජාත්‍යන්තර තරඟ බිම තහනම් විය. නමුත් මැතියස් හට ඔහුගේ ම සැලසුම් තිබිණි. 2008 ඔලිම්පික් උළෙල වෙනුවෙන් පළමු පියවර ලෙස ඔහු ජර්මානු ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කළේ ය.

සුසෑන් යනු අවිවාදයෙන් ම මැතියස්ට ආදරණීය බිරිඳක් විය. මැතියස්ගේ සිහින ඇය හොඳින් ම හඳුනා ගෙන සිටියා ය. ඔලිම්පික් රන් පදක්කමක් වෙත මැතියස්ගේ ගමනේ දී ඇයට හැකි උපරිමයෙන් සහාය වූවා ය. ඒ වන විට මැතියස්ගේ ජීවිතය සතුටින් පිරී තිබුණි. මැතියස් තම ක්‍රීඩා දිවියේ උපරිමය දක්වා ගමන් කරමින් සිටියේ ය. සුසෑන් ද මැතියස්ට සහය වන අතර ම ඇගේ වෘත්තීය දිවියේ ඉහළ ම පියවරයන් නඟිමින් සිටියා ය. නමුත් ඔවුන්ගේ සතුට සුණුවිසුණු වීමට ගත වූයේ නිමේෂයක් පමණි.

2007 වසරේ ජූලි 16 වන දා සිදු වූ හදිසි රිය අනතුරකින් සුසෑන් සදහට ම මෙලොව හැර ගියා ය. ශරීරයෙන් ශක්තිවන්තයෙකු වුවද මැතියස් මානසික ව කඩා වැටුණේ ය. ඔහු කොපමණ කම්පනයට පත් වී ද යත් තව දුරටත් ක්‍රීඩාවේ නියැලීමට සිත සාදා ගැනීමට පවා ඔහුට නො හැකි විය. නමුත් යම් මොහොතක මැතියස් සිත ශක්තිමත් කර ගත්තේ ය. ජීවිතයේ තමාට වෙනස් කළ නො හැකි දෑ වෙනස් කිරීමට යාමට වඩා එය ඒ ආකාරයට ම පිළිගැනීම වඩා හොඳ බව ඔහුට තේරුම් ගියේ ය. තම ආදරණීය බිරිඳ කිසිදාක යළි නො එන බව පිළිගැනීමට මැතියස් සිත ශක්තිමත් කර ගත්තේ ය. එහෙත්, සුසෑන් මරණය අභියස සිටිය දී ඇයට දුන් පොරොන්දුව ඉටු කළ හැකි බව ඔහුට අවබෝධ විය.

ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනීමේ ගමනේ පළමු ද්වාරය ඔහුට විවරවීම 2008 වසරේ මුල් බාගයේ දී සිදු විය. ඒ ජර්මානු පුරවැසිභාවය මැතියස්ට හිමි වීමෙනි. එම පුවත දැන ගත් වහා ම මැතියස් සුසෑන්ගේ සොහොන් ගෙය වෙත ගිය බව පැවසේ. අනතුරුව මැතියස් 2008 බීජිං පූර්ව ඔලිම්පික් උළෙලේ බර ඉසිලීමේ තරඟ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 150+  බර පන්තිය ජයග්‍රහණය කරමින් 2008 බීජිං ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබී ය.

2008.08.08 වන දින චීනයේ බීජිං නුවර ඔලිම්පික් උළෙල ඉතා උත්සවාකාරයෙන් ආරම්භ විය. මැතියස් ස්ටයිනර් තරඟ බිමට අවතීර්ණ වන දිනය උදා විය. ඔහු ඉතා හොඳින් සූදානම් වී තරඟයට පිවිසියේ ය. විවිධ සාර්ථකවීම්, අසාර්ථකවීම්වලින් අනතුරුව මැතියස්ගේ අවසාන අවස්ථාව පැමිණියේ ය. ඒ වන විටත් ඔහු ලෝකඩ පදක්කමට අදාළ බර ඔසවා තිබුණි. රන් පදක්කම ලබා ගැනීමට නම් කිලෝ ග්‍රෑම් 460 ක බරක් ඔහුට ඉසිලීමට සිදු වූ අතර මැතියස් එම අභියෝගය බාර ගත්තේ ය. කිලෝ ග්‍රෑම් 460 ක බරක් එස වූ මැතියස් ස්ටයිනර් ලොව ශක්තිමත් ම පුරුෂයා බවට පත් වූයේ ඔහුගේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කමට හිමිකම් කියමිනි. ජයග්‍රහණය ලද අවස්ථාවේ මැතියස්ගේ දෑසින් කඳුළු වැගිරෙන්නට විය. ඔහු සුසෑන්ට වූ පොරොන්දුව එයාකාරයෙන් ම ඉටු කර තිබුණි. තම පුහුණුකරුව වැළඳ ගත් ඔහු කුඩා දරුවෙකු මෙන් වේදිකාව මතදී ම ඔහුගේ සතුට සමරන්නට විය. මැතියස් ස්ටයිනර් යනු හදවතින් මෘදු ශක්තිවන්තයෙකු බව මුළු ලොවක් සාක්ෂි දැරූහ.

තම මියගිය බිරිඳ වෙනුවෙන් ඔහු රන් පදක්කම ජයග්‍රහණය කළේ ය. අනතුරුව පැවති පදක්කම් පැළඳවීමේ අවස්ථාවට මැතියස් සහභාගී වූයේ තනිව නොව, තම මියගිය බිරිඳ සුසෑන්ගේ ඡායාරූපයක් ද සමඟිනි. එම රන් පදක්කම මැතියස්ට පදක්කමක් පමණක් ම නො වීය. ඔහු සුසෑන්ට අසීමිත ව ප්‍රේම කළ බවට සංකේතය ද විය. එපමණක් නොව මුළු ලොවක් ඉදිරියේ තම බිරිඳගේ ඡායරූපය සිප ගනිමින් තමාගේ ජයග්‍රහණයේ ගෞරවය ඇයටත් ලබා දුන්නේ ය. පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මැතියස් මෙසේ පවසා තිබුණි. ඒ “මා මිත්‍යා විශ්වාස ඇති අයෙකු නො වෙමි. එහෙත් තරඟයට පැය කිහිපයකට පෙර සුසෑන් මා අසළ සිටියා. ඈ මා තරඟ කරන අයුරු බලා සිටියා යැයි මා විශ්වාස කරනවා” යනුවෙනි.

තම බිරිඳට ලබා දුන් රන් පොරොන්දුව ඉටු කළ මැතියස් ස්ටයිනර්ගේ ජයග්‍රණය 2008 බීජිං ඔලිම්පික් උළෙලේ පමණක් නොව සමස්ත ඔලිම්පික් ඉතිහාසයේ ම සංවේදී සිදුවීම් අතරට එක් වූ අතර මැතියස් ස්ටයිනර්ගේ ජයග්‍රහණය පිටුපස සංවේදී කතාව අදටත් බොහෝ හදවත්වල සටහන් ව ඇත.

Written by: Sanduni Gunaratne

References:

Image Courtesies:

 
Tagged : / /