කිරුළු නොපළන් අසහාය අපරාජිත පරාජිතයා

Share

ඔහු නමින් සියවසේ විශිෂ්ටත ම පරාජිතයා ලෙසින් විරුදාවලිය ලත් රණතුංග කරුණානන්දයන් ය. අභ්‍යන්තරයේ වූ කිසිවෙකුටත් බිඳහෙළිය නො හැකි රුධිරගත ආත්ම විශ්වාසය, අපරාජිත හැඟීම, හෘද සාක්ෂියට අවනතවීම, නොපසුබස්නා උත්සාහය, උද්වේගකර හෘද ස්පන්දනය සහ කාලෝචිත තීරණ ගැනීම මෙන් ම ක්‍රීඩකයෙකු තුළ තිබිය යුතු ම ඉලක්ක හඹායාමේ අභිප්‍රේරණාත්මක අධිෂ්ඨානය මුසු ස්වයං මාර්ගෝපදේශය, ඔහුගේ සාර්ථක තරඟ නිමාවට හේතු වන්නට ඇත. තම ජීවිත කාලයට ම උපයාගත් මිල කළ නො හැකි ධනය වන්නේ ඔහු විසින් 1964 වර්ෂයේ දී  මීටර් 10,000 තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකාව  නියෝජනය කිරීමයි.

2021 දී ඔලිම්පික් සත්කාරකත්වය දෙවන වරටත් ජපානයේ ටෝකියෝ නුවර දරන අවස්ථාවක, මීට වර්ෂ 57 කට ඉහත දී ප්‍රථම වර සත්කාරකත්වය ලබාගත් ජපානයේ දසත රැව් දුන් ශ්‍රී ලාංකික නාමය සිහිපත් කළ යුතුම ය.

වර්ෂ 1964 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකුගෙන් සමන්විත මළල ක්‍රීඩක කණ්ඩායමක් ජපානය බලා පිටත් වූ අතර බලාපොරොත්තු ගොන්නක් සිහි කැඳවමින් අභිමානවත් ලාංකික නාමය හදවත් තුළ අමෝරා ගෙන ඔවුන් ටෝකියෝ නුවර වෙත පිවිසි වගයි. මින් අයෙක් රණතුංග කරුණානන්දයන් ය. මීටර් 5000 දිගු දුර ධාවන ඉසව්ව නියෝජනය කිරීමට මත්තෙන් වන ඔලිම්පික් උළෙල සඳහා නාමයෝජිත ව තිබිය ද, එරට දී ඔහු ලක් වූ සුළු රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් එම ඉසව්ව සඳහා අවාසනාවන්ත ලෙස සහභාගීත්වය ලබා දීමට නො හැකි විය. නමුදු පසු දා එළඹෙන මීටර් 10,000 ධාවන ඉසව්ව සඳහා සහභාගීත්වය නිසැකව ම ලබා දෙන බවට ඔහු තරයේ අධිෂ්ඨාන කොට ගත්තේ ය. පසු දා එළඹිණි. ප්‍රේක්ෂකාගාරයේ ම කුහුලින් පිරි දෑස් යොමු ව තිබුණේ මීටර් 10,000 ධාවන ඉසව්ව වෙත ය. වට 25 ක් අවසානයේ උදා කරගන්නා ජාත්‍යාලය පිරී හැඟීම් සමුදාය මුසු කොටගත් ජයග්‍රහණය, හදවත් තුළ දැඩි ලෙස තෙරපවා ගනිමින් පිටියට පිවිසි තරඟකරුවන් 29 දෙනෙකි. තරඟ තීරක වෙඩි හඬ ගුවනට මුසු වනවාත් සමඟ ම තරඟ ආරම්භය සනිටුහන් විය. වසර ගණනාවක් පුරා කාලානුරූපීය ව වර්ධනය කරගත්, කටුක නමුත් උද්යෝගය පිරි තිර අදිටන මුහු කළ ක්‍රමානුකූල පුහුණුව මිනිත්තු කිහිපයකට ලඝු කොට දක්වන්නට සිදුවන තීරණාත්මක අවස්ථාවකි.

මූලික තරඟ වට කිහිපය තරඟකරුවන් සමූහයක් ලෙස ධාවනය පවත්වාගෙන ගිය ද ඊළඟ වට කිහිපය එළඹීමත් සමඟ පිටියේ විවිධ ස්ථානවල තරඟකරුවන් ඉලක්කගත අරමුණු හඹායාමේ උත්සහයක යෙදෙමින් නො නවත්වා තම ඉරියව්වෙහි නිරත විය.

ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් දිරිගැන්වීමත් සමඟ ම, 24 වන වටයේ දී පෙර ගමන්කරුවන් ලෙස බිලී මිල්ස්, මොහොමඩ් ගමෞදි, රොන් ක්ලාර්ක් යනාදී යුරෝපීය තරඟකරුවන් වෙත අවධානය බෙහෙවින් යොමු ව තිබිණ. ඒ වන විටත් කරුණානන්ද රැඳී සිටියේ 20 වන වටයේ ය. සෑම අභියෝගාත්මක තරඟකරුවෙකු ම තමාව තමන්ට අභියෝගයක් කොට ගනිමින් තරඟ ඉසව්ව අති සාර්ථක ව අවසන් කිරීමට තරඟ බිමට පිවිසෙන නමුත් තීරක ජයග්‍රහණයන් උදා කරගනුයේ ඉතා සුළු පිරිසකි.

තීරක ජයග්‍රහණයන් අභිබවමින් අමරණීය ජයග්‍රහණයක් අත් කරගැනීම, කුතුහලය මුසු නමුදු  විමසිල්ලෙන් ස්පර්ශ කළ යුතු අහම්බකාරක අත්දැකීමක් වන්නේ ය. 20 වන වටයේ දී ඔහු හඹා යන ඉදිරි පෙළ ක්‍රීඩක ඕස්ට්‍රේලියානු ජාතික තරඟකරුගේ මුවින් පිට වූ අධෛර්යමත් වදන් කිහිපය නෑසූ කන් ව සිටි කරුණානන්දයන් තම ජවය මොහොතකට හෝ අඩාල කර නො ගත්තේ ය. එය ම ඔහුට පසු වටයක් පූර්ණය කරගැනීමට පසක් වන්නට ඇත. සාමකාමී නමුදු, අපරාජිත හැඟීම් සිත් තුළ ප්‍රකම්පිත ව හඬ නගද්දී කරට කර තරඟයකින් අනතුරුව 25 වන වටය මිනිත්තු 28 තත්පර 17.6 ක විශිෂ්ට තීරක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් හට හැකි විය.

ඇසිල්ලකින් දෙවන සහ තෙවන තරඟකරුවන් ද ජයග්‍රහණයන් ලබා හමාර ය. මෙම තීරණාත්මක මොහොත අවසන් වනවාත් සමඟම ජයග්‍රහණය තම මව්බිම වෙනුවෙන් අහිමි වීමේ දරාගත නො හැකි වේදනාවත් සමඟ තරඟකරුවන් බොහොමයක් තරඟය අත් හැර දැමී ය. ඇතමෙක් කායික වෙහෙස දරාගත නො හැකි උපරිම අවස්ථාවේ දී, තීරක ජයග්‍රාහකයන් සපැමිණීමටත් පෙර ම තරඟය අත් හළේ ය. වා තලයේ ගිමන් හැරි ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ වියැකෙන්නට මත්තෙන් අංක 67 ක්‍රීඩකයා නොහොත් කරුණානන්ද තම 21 වන වටයේ ආරම්භය ගත්තේ ය.

මොහු වෙත අවධානයේ පසු වූ ආගන්තුක ප්‍රේක්ෂක සමූහයා එම වටය ආරම්භයත් සමඟ හූ හඬ, බෝතල්, සෙරෙප්පු සංග්‍රහයන් එල්ල කිරීමට නොපසුබට විය. තමාගේ ජීවිතයේ ලද අපරිමිත අත්දැකීමෙහි අවසානයක් දකින්නට අපමණ චිත්ත ධෛර්යය පෙරදැරි කරගත් ඔහු නො සැලී තව තවත් උද්වේගකර වූ අතර 22 වන වටය ද ඒකාකාර ජවය එලෙස ම පවත්වා ගනිමින් ආරම්භ කරන ලදී. දැන් ප්‍රේක්ෂකාගරයේ හදවත් මොහොතක් නිහඬ ය. නමුදු කරුණානන්දයන් ගේ ප්‍රයෝගකාරී හද ගැස්ම ප්‍රේක්ෂකයන් ගේ සිත් තුළ උත්තේජනයක් ඇති කිරීමට සැරසෙයි. මොහොතක් දෑස් අයා බලා සිටි කුඩා දරුවෙකුගේ අත්පොළසන් නාදයට 80,000  ක් පමණ ප්‍රේක්ෂකායා ද එක් වූ අතර 23 වන වටය ද ඔහු නිමා කළේ ය .

කිසියම් හෝ ආබාධයක් නො දුන් සිරුර පුරා දිව යන ආශිර්වාදාත්මක රුධිරය නව ජීවයක් ලබා දෙමින් 24 වන වටය පසු කරද්දීත් තරඟ තීරක හා අනෙකුත් තරඟකරුවන් පිටියෙන් දැනටමත් ඉවත් ව ගොස් ය. පෙර ආගන්තුක බවක් දැක් වූ ප්‍රේක්ෂකයා දැන් කරුණානන්දයන් ගේ උද්වේගකර ආත්මය සුපෝෂණය කිරීමට මත්තෙන් හැඩ ගැසී සිටින්නේ ය. “කමෝන් සිලෝන් ! කමෝන් සිලෝන් !” රාවය අවකාශයට මුසු වීමත් සමඟ ම කරුණානන්දයන් කඟවේනෙකු බඳු වේගයෙන් ධාවන තීරුව තරණය කරමින් පසු වෙයි. ඔහුව අභියෝගයට ලක් කළ ප්‍රේක්ෂකාගාරයේ නො නැවතුණු සුභාශිංසන මධ්‍යයේ 25 වන වටය අවසානයේ තරඟ ඉසව්ව සාර්ථක ව නිමා කරන ලදී.

අපරාජිත හැඟීමක් නො වූ ඔහුගේ මුව අභිමානවත් ලාංකිකයෙකුගේ නිහතමානී සිනහවෙන් පිරී ගිය අතර අමරණීය ප්‍රබෝධමත් මතක සටහනක් ඉතිරි කරමින් පිටියෙන් ඉවත් විය. දෙවන ලෝක යුද්ධයේ කැළැල් අබියස ක්‍රමයෙන් තම අනන්‍යතාවය ගොඩනඟා ගනිමින් සිටි ජපානය පසුබට නො වී ඉදිරි ඉලක්කගත විසඳුම් සෙවීමෙහි චිත්ත ධෛර්යය දැඩි කරගනිමෙහි ලා කරුණානන්ද චරිතය ආදර්ශ කොට ගත්තේ ය. මුළු මහත් ලෝකයේ ම  ජනාදරයට පත් කරුණාවන්ත හදවතක් පිරි නිහතමානී දිගු දුර ධාවක රණතුංග කරුණානන්දයන් 1975 වර්ෂයේ දී අප අතරින් සමුගත්තේ ය.

තරඟය අවසන සත්කාරක ජපානයේ ඔලිම්පික් ගම්මානයේ නිල නො ලත් වීරයා ලෙසින් ඔහුව දින කිහිපයක් රඳවාගනිමින් පාසල් ක්‍රීඩා උත්සවයන් හි ප්‍රධාන ආරාධිතයාට ඇරයුම් කර සහභාගී කරවීමට තරම් ජපන් ජාතිකයන්  නිහතමානී විය. තවද කුඩා දරුවන්ගේ ආත්ම විශ්වාසය සහ ස්වයං විනය මනසෙහි සවිමත් ව ජාලගත කිරීමෙහි ලා ජපන් පෙළපොත්වල පවා ඔහු පිළිබඳ සටහනක් තැබීමට අදටත් ජපානය උත්සුක වී ඇත.

අදින් වසර 57 කට ඉහත දී ජපානයේදී ම ගෞරවාදරයට පත් ‘අපරාජිත පරාජිතයා’ මේ අවස්ථාවේ දී අභිමානයෙන් යුතු ව මතකාවර්ජනය කළ යුතුම ය.

 

References:

Image courtesies:

 

 
Tagged : / /