ගුරුවරුන්ට සාප කරන්නට පෙර


කොරෝනා ව්‍යසනය ලංකාවට ආවට පස්සේ රටේ රජය කලේ කාලෙන් කාලෙට රට වහපු එක.

ඊට පස්සේ සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ඕනි තරම් රජයේ ගානේ ලැබුණා.

ආරක්ෂක අංශ වලට කොරෝනා ව්‍යසනය මැඩපවත්වන්න කරන අමතර කැපකිරීම් වලට පඩි වැඩි කරන්න, අතිකාල ගෙවන්න අර දීමනා මේ දීමනා දෙන්න කියලා ඉල්ලීම් ලබා ගන්න වැඩ වර්ජන කරන්න බෑ.

හැබැයි සෞඛ්‍ය සේවයේ ඉන්න අය ඒ ඉල්ලීම් වෙනුවෙන් කී සැරයක් රෝගින් අපහසුතාවට පත් කරලා වැඩ වර්ජන කරලා ඒ ඉල්ලීම් ලබා ගත්තාද?

එයාලා වෙනදට වඩා ලොකු කැපකිරීමක් කලා තමයි ඒවගේම එයාලට ලැබියයුතු දේ එයාලා කොහොමහරි ලබාගන්න කටයුතු කලා.

නමුත් පාසල් දරුවන්ට පාසල් වැහුවාම එයාලගේ අඩාල උන අධ්‍යාපනය නැවත ලබා දෙන්නේ කොහොමද කියලා මේ රජයට අධ්‍යාපන ඇමතිලාට ඒ ඒ අමාත්‍යාංශ වල අයට කිසි අවබෝධයක් සහ දැනුමක් තිබ්බේ නෑ.

පුද්ගලික ගුරුවරු zoom වලින් උගන්නන්න ගත්තාම තමන්ගේ ආදායම දිගටම ලබාගන්න ඒක පාසල් වල ලමයින්ටත් උගන්නන්න පාසල් ගුරුවරු පෙළබුනේ නිරායාසයෙන්.

එහෙම නොකලා නම් අද වෙනකන් පාසල් දරුවෝ ගෙදරට වෙලා නිකරුනේ කාලකන්නි වෙනවා. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය අද වෙනකන් zoom වලින් උගන්නන්න කියලා කිසිම චක්‍රලේඛයක් එවලා නෑ ගුරුවරුන්ට.

Online උගන්වන්න තමන්ගේ පුද්ගලික දුරකථනය සහ ඩේටා කාඩ් දාගෙන සිග්නල් තියෙන තැන් හොයහොයා තම පුද්ගලික ධනය වැය කරලා මෙච්චර කල් ලමයින්ට ඉගැන්නුවාට කිසිම ඉල්ලීමක් කරලා නෑ පඩි වැඩි කරන්න ඩේටා දීමනාවක් දෙන්න කියලා.

ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් තියාගෙන අඩුම පඩි ගන්නේ ගුරුවරුන් හැබැයි මේ වෙලාවේ පඩි වැඩි කරන්න කියලා නෙවෙයි මේ වර්ජනය කරන්නේ කියලත් මතක තියාගන්න එයාලට බනින්න සාප කරන්න කලින්.

සටහන රෝහණ කේ අමරකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න