“අපිට දැන් අවශ්‍ය හොඳම ප්‍රධාන පුහුණුකරු රොෂාන් මහානාම” – මුරලි

6001

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින තත්වය අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ලබාගැනීම සඳහා සිටින හොඳම පුහුණුකරු රොෂාන් මහානාම මහතා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් පවසා සිටිනවා. ඒ ඊයේ (12) හිරු TV සලකුණ සඳහා සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය තිබෙන විශාල ගැටලුව වී තිබෙන බවත්, කණ්ඩායම තුල කල්ලි කිහිපයක් නිර්මාණය වීම නිසා මෑත කාලය තුල නායකයින් 10 දෙනෙකු වෙත කණ්ඩායමේ නායකත්වය ලබා දීමට සිදුව තිබෙන බවත් මුරලි එහි දී පවසා සිටියා.

“කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය ගොඩක් පිරිහිලා. මේ විනය නැතිකම නිසා තමයි අපේ මේ කණ්ඩායම ගොඩක් දුර්වල වෙන්න හේතු වෙලා තියෙන්නේ. මේ ක්‍රීඩකයින්ගේ විනය පාසල් මට්ටමේ ඉඳලම හැදෙන්න ඕනේ. එක පාරටම ජාතික කණ්ඩායමට ආවම විනය හදන්න අමාරුයි. හැබැයි වැරැද්ද දැක දැක දඬුවමක් දුන්නේ නැතිනම්, ඒ ක්‍රීඩකයා කවදාවත්ම හැදෙන්නේ නැහැ. 

කොච්චර හොඳ ක්‍රීඩකයෙක් වුනත් විනය නැතිනම් වැඩක් නැහැ. ඒ වගේම තමයි විනය විතරක් තියාගෙන ඉඳලා වැඩකුත් නැහැ. දස්කමුත් ඒ වගේම තියෙන්න ඕනේ. හැබැයි විනය තියෙනවා නම් තිබෙන අඩුපාඩු හදාගෙන දස්කම් වර්ධනය කරගන්න එක ලොකු අමාරු වැඩක් නෙමේ.”

තවත් ක්‍රිකට් පුවත්:

“ක්‍රීඩකයින් එක එක්කෙනා කණ්ඩායමේ නායකත්වය ගන්න කුළල් කා ගන්නවා. ක්‍රීඩකයෝ විතරක් නෙමේ, සමහර ක්‍රීඩකයින්ගේ නෝනලා පවා මේ ක්‍රීඩාවට දැන් අත දාන්න පටන් අරගෙන. සමාජ මාධ්‍ය ජාලවල එක එක ක්‍රීඩකයින්ට අපහාස වෙන විදිහට පෝස්ට් දානවා. ඒ වගේ දේවල් වෙනකොට කණ්ඩායම තුල මේ වගේ කල්ලි නිර්මාණය වෙන එක සාධාරණයි. ක්‍රීඩකයිනුත් දැනගන්න ඕනේ, මේවා නවත්ත ගෙන කණ්ඩායමක් විදිහට ඉස්සරහට යන්න. මොකද ක්‍රිකට් වලින් අපි ජාත්‍යන්තරයට යන්නේ රටක් විදිහට. අපි සෙල්ලම් කරන්නේ රටට” මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල තිබෙන ගැටලු රැසක් සඳහා මුල් වුනු හේතුව ගැන අදහස් දක්වමින් පවසා සිටියා.

“මේ ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගැටලුව වුනත් ක්‍රීඩකයින් හතර දෙනෙක්ගේ උවමනාව මත තමයි මේ ගැටලුව මෙච්චර දුර දිග ආවේ. අපි සෙල්ලම් කරන කාලෙත් ක්‍රීඩක කොන්ත්‍රාත්තු කියලා දෙයක් මුලින් තිබ්බේ නැහැ. ඕක ආවේ මේ මෑතක දී. අපි ඉස්සර ගොඩක් වෙලාවට සෙල්ලම් කරේ තරගාවලි කොන්ත්‍රාත්තුවලට. මේ දැන් තියෙන විදිහට මේ ක්‍රීඩකයින්ට මේ අවුරුද්ද වෙනකන් ජාතික කොන්ත්‍රාත්තු ලැබෙන එකක් නැහැ. 

ටොම් මූඩි ඇතුළු අපේ කණ්ඩායම මේ කොන්ත්‍රාත්තු ක්‍රමය හැදුවේ ක්‍රීඩකයින්ගේ දස්කම් මුල් කරගෙන එකේ ලකුණු ලබා දෙන පටිපාටියක් තියෙනවා. විනය, ශාරීරික යෝග්‍යතාවය, නායකත්වය, ක්‍රීඩා කරනු ලබන අංශ මේ වගේ දේවල් අනුව තමයි මේ ලකුණු ලැබෙන්නේ. හැබැයි ලොකු ඉඩක් වෙන් වෙන්නේ දස්කම්වලට” යැයි මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු ගැන අදහස් දක්වමින් පවසා සිටියා.

අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවට මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ඇතුළත් වෙනවා. ඔවුන් ස්වේච්ඡා සේවයක් ලෙස ඔවුන්ගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙන අතර එහි දී ඔවුන් හට කිසිම බලයක් නොමැති බවත් ඔවුන්ට අවස්ථාව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත උපදෙස් ලබා දීම පමණක් බවත් මුරලි මෙහි දී පවසා සිටියා.

“අපි (ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුව) දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපේ දේශීය ක්‍රිකට් හැදෙන්න ඕනේ විදිහ ගැන කියලා තියෙන්නේ. දැන් අපේ දේශීය ක්‍රිකට් එකේ පළමු පෙළ ක්‍රිකට් සමාජ 26ක් තිබෙනවා, මේක ගොඩක්ම වැඩියි. එහෙම වුනාම වෙන්නේ ක්‍රිකට් එකේ ගුණාත්මක බව අඩුවෙනවා. 

දැන් හැබැයි ඒ සමාජ වල පළමු පෙළ බව අයින් කරන්න ගියොත් මේක තව ගැටලුවක් වෙනවා. දැන් අපි මේක කරන්න හදන්නේ මේ පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව, පළාත් 5කට කණ්ඩායම් 5ක් බෙදලා හොඳ ක්‍රීඩකයින් 100ක් සහභාගී කරවා ගෙන තරගාවලියක් පවත්වනවා. 

ඊට පස්සේ ශ්‍රී ලංකා නැගී එන, ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එතැනින් ක්‍රීඩකයින් තෝරාගන්න පුළුවන්. අපි ඒ සැලසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීලා තියෙනවා, ඒ සැලසුම ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. හැබැයි මේ කොවිඩ් තත්වය නිසා ඒ සැලසුම් ක්‍රියාත්මක වෙන එකේ ප්‍රමාදයක් තියෙනවා” යැයි මුරලි පැවසුවා.

“දැන් අපේ පුහුණුකරුවන්ගේ කොන්ත්‍රාත් කාලය ටික ටික ඉවර වේගෙන එනවා. ඉතින් අපි දැන් මේ පුහුණුකරුවන්ගේ තැන් වලට ආදේශ කරන්න පුළුවන් අය ගැන කතා බහ කරමින් ඉන්නේ. 

මම හිතන්නේ රොෂාන් මහානාම මහතා තමයි දැන් වෙලාවේ හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙන්න හොඳම කෙනා. මොකද මහානාමගේ මාර විනයක් තියෙන්නේ. මහානාම එක්ක අපි මේ ගැන කතා කරලා තියෙන්නේ, ඔහු හිතලා බලල අපිට තීරණයක් දෙයි” යැයි මුරලි අවසන් ලෙස පැවසුවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<