ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ PCR ප්‍රතිඵල එළියට; පුහුණුවට කොළ එළි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

7002
Sri Lankan players allowed

ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අද (11) ලබාගත් PCR වාර්තා සියල්ලේම ප්‍රතිඵල සාමාන්‍ය වීම නිසාවෙන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු හෙට (12) දිනයේ සිට ආරම්භ කිරීම සඳහා අවසර ලැබී තිබෙනවා.

එසේම එම PCR ප්‍රතිඵල සාමාන්‍ය වීමත් සමඟම ඔවුන් අද දිනයේ දී සිය මූලික ශාරීරික යෝග්‍යතා කටයුතු වල නිරත වුනා. එංගලන්තයේ සිට දිවයිනට පැමිණි කණ්ඩායමේ නිරෝධායනය ඊයේ (10) දිනයේ දී අවසන් වීමට නියමිතව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු Grant Flower සහ දත්ත විශ්ලේෂකවරයා හට COVID-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන්, එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාලසීමාව තවත් දින කිහිපයකින් වැඩි වුනා.

එම නිසා මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ ආරම්භය 18 වැනිදා දක්වා කල් දැමීමට සිදු වුනේ, ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් සඳහා තිබෙන දින ප්‍රමාණය අවම වීම නිසයි.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැන් කොළඹ TAJ හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් කර Cinnamon Grand හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුල වෙත ඊයේ (10) මාරු කරා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මූලික සංචිතයේ සිටි භානුක රාජපක්ෂ හට නිරෝධානයට ලක්වීමට සිදුව තිබෙන නිසා විස්සයි විස්ස තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ ඉදිරි PCR ප්‍රතිඵල අනුව මෙහි යම් වෙනසක් වීමට ඉඩක් තිබෙන නමුත් නිසැක වශයෙන්ම ඔහුට එක්දින තරගාවලිය මඟ හැරී යනු ඇත.

භානුකව එසේ නිරෝධානයට යොමු කිරීමට සිදුවුනේ ඉන්දීය තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සඳහා සූදානම් කරමින් තිබූ ශ්‍රී ලංකා විකල්ප සංචිතයේ ක්‍රීඩකයෙකු වන කඩුලු රකින පිතිකරු සඳුන් වීරක්කොඩි හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (10) තහවුරු වුනු නිසයි.

සඳුන් තවත් ක්‍රීඩකයින් 14 දෙනෙකු පමණ සමඟ කොළඹ දී පුහුණුවීම්වල නිරත වෙමින් සිටියේ කොළඹ TAJ හෝටලය තුළ නිර්මාණය කළ ජෛව ආරක්ෂිත බුබුල තුලයි. කෙසේ නමුත් සඳුන්, භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් පුහුණු තරග ක්‍රීඩා කිරීම සඳහා පසුගිය 9 වැනිදා රාත්‍රි කාලයේ දී දඹුල්ලට පිටත් කර තිබුනා. 

ශ්‍රී ලංකා – ඉන්දීය නව තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 18
  • දෙවැනි එක්දින තරගය – ජූලි 20
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 23
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 25
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 27
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 29

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<