මාධ්‍ය නිදහස සම්බන්ධ විලෝපිත රාජ්‍ය නායකයන් අතරට ගෝඨාභය

 

දේශසීමා නොමැති වාර්තාකරුවෝ සංවිධානය විසින් පස් වසරකට වරක් පළකරනු ලබන මාධ්‍ය නිදහස සම්බන්ධ විලෝපිත රාජ්‍ය නායකයන්ගේ (predators of press freedom) ඡායාරූපයේ සිටින, මාධ්‍ය නිදහසට වැඩිම තර්ජන එල්ල කරන ලොව රාජ්‍ය නායකයන් 37 අතරට එක්වීමට මේ වන විට රට බංකොලොත්භාවයේ මුවවිටට ඇද දමා සිටින වැඩකරන අපේ විරුවා නම් විරුදාවලි ලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් වී තිබේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ 2005 සිටම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විලෝපිතයකු ලෙස හැඳින්වේ.

ඊජිප්තුව, බෙලරස්, ඉරානය, සිරියාව, හොංකොං, නිකරගුවා, තජිකිස්තානය, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්තානය, බහරේන්, කාම්බෝජය, අසර්බයිජානය, පකිස්තානය, ජිබුටි, එරිත්‍රියාව, බ්‍රසීලය, උතුරු කොරියාව, සිංගප්පූරුව, කියුබාව, මියන්මාරය, සවුදි අරාබිය, ඉනිදියාව, වෙනිසියුලාව, වියට්නාමය, කැමරන්, රුවන්ඩාව, තායිලන්තය, රුසියාව, තුර්කිය, පිලිපීනය, දකුණු සුඩානය, බංග්ලාදේශය, නිරක්ෂ ගිනියා, හංගේරියා, චීනය, උගන්ඩාව යන රටවල රාජ්‍ය නායකයන් මෙම මාධ්‍ය විලෝපිතයන්ගේ ලැයිස්තුවේ සිටිති.

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටින් හා එහි කොටසක් වන චෙච්නියාවේ නායක රැම්සන් කැඩිරොව් යන දෙදෙනාම මෙම ඡායාරූපයේ සිටිති.

එහි සිටින කාන්තාවන් දෙදෙනා වන්නේ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම් හා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ මාධ්‍ය විලෝපිතයන්ගේ විස්තර පිටුවේ දැක්වෙන කරුණු මෙතැනින් බැලිය හැකිය.

පහත දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී ඉතා ජනප්‍රිය වූ ප්‍රචාරණ ගීතයේ පද කිහිපයකි.

විශ්වය පුරාවිහිදී ගියා
පොදු ජනජය රාවේ
අපි වෙනුවෙන්අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට මෙවැනි අපකීර්තියක් හිමිවීමට හේතු වන්නේ ඔහුගේ නිලධාරීන් විසින් කෙළින පිස්සුය. පසුගිය ජූනි මාසය පමණක් උදාහරණයකට ගතහොත්, ශ්‍රී ලංකා රජයේ නිලධාරින් විසින් කරන ලද මාධ්‍ය නිදහසට එරෙහි ක්‍රියාකාරකම් කීපයක් මෙසේයි:

ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස හැඳින්වෙන රජීව් යසිරු කුරුවිටගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පරිගණක අපරාධ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් කරන ලද වරද එම පනතට අදාළ නොවන බව සැකකරුගේ නීතීඥවරුන් වූ තිෂ්‍ය වේරගොඩ ඇතුළු පිරිස පෙන්වා දුන් විට, වෙනත් පනතක් යටතේ නැවත නඩු පවරන තෙක් සැකකරු රිමාන්ඩ් කරන ලෙස අපරාධ පරීකණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය. ඇප ලැබූ කුරුවිටගේ බන්ධනාගාරය පීසීආර් ප්‍රතිඵල ලැබෙන තෙක් නිදහස් කළ නොහැකි බව බන්ධනාගාර නිලධාරීහු පැවසූහ.

Rata.lk වෙබ් අඩවියේ සංස්කාරක සජීව විජේවීරට එරෙහිව ගාල්ල මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දැමූ කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා ඔහුගේ ප්‍රවෘත්ති මූලාශ්‍ර විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියේ මාධ්‍ය නිදහස, ප්‍රකාශනයේ නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද උල්ලංඝනය කරමිනි.

සමාජ මාධ්‍යවල වැරදි පුවත් පළකරන පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කරන ලද ප්‍රකාශය සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ කරන ජනතාව බියවැද්දීම සඳහා කරන ලද ක්‍රියාවකි.

මෑතදී නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එල්ල කරන ලද අනියම් තර්ජනය ද තවත් මෙවැනි සිද්ධියකි.

දවසින් දවස මෙවැනි සිදුවීම් වැඩිවීම අවසානයේදී ජනාධිපති ගෝඨාභයගේ නාමයටත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තියටත් බරපතල හානියකි.

තවත් විස්තර මෙතැනින්

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා