අපිට අළුත් නායකයෙක් ඕනෑ


2010 දි යුද්ධය දිනු මහරජානෝට මිනිස්සු කෘතගුණ සලකන්න දිගටම මුල්පුටුවේ ඉන්න කියලා පාර්ලිමේන්තවෙත් 2/3ක් දෙනවා. ඒත් ඒ බලයෙන් මත්වෙලා ජීවිත කාලෙම මුල්පුටුවේ ඉන්න හදපු මහරජා සහ එයාගේ පිරිවර රට උකසට තියලා ගත්ත ණය වලින් ගසා කන්න පටන් ගත්ත නිසා සහ බලයෙන් මත්වෙලා පිස්සු කෙලින්න ගත්ත නිසා මිනිස්සුන්ට රට බේරගත්ත මහරජා එපා කියලා රජකමේ තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියෙද්දි පන්නලා දැම්මා.

…………………………………………………………..

2015 දි රයිගමයයි ගම්පලයයි වගේ ඩබලක් ආවා ඒ රටට හැමෝම එකතු කරන් යහපාලනය කියලා එකක් රටේ හදන්න. උන් යසට පාලනයක් ඇතුව බඩ වියත සරිකරගත්තා මිසක් ජනතාවට නම් වෙච්ච යහපාලනයක් නෑ.

සංහිඳියාව කියලා එකකුත් කොනකින් ඇහුනා අන්තිමට සංහිඳියාවේ ඉන්න එක කෙසේ වෙතත් යුද්ධය නැති රටේ ආය බෝම්බ පිපිරිලා මිනිස්සු බරගානක් මැරුණා. තවපොඩ්ඩෙන් එක ජාතියක් රටෙන් එලවන ගානටම ආවා. දැන් ඒ රටේ මිනිස්සු ඒ ජාතිය විශ්වාස කරන්නේ නෑ. සංහිඳියාව කියන වචනය භාශාවෙනුත් අයින් කරලා ඉන්නේ.

…………………………………………………………..

2019 දි ඉස්සර රට කරපු කෙනෙක්ගේ නෑයෙක් ආවා ඒ රටට වියතුන් එක්ක ඒ රට හදන්න , ඒ ආපු වියතුන් රට කරන හැටි දැක්කාම මිනිස්සුන්ට වියතුන් එපා උනා විතරක් නෙවෙයි වියත් මිනිස්සුන්ට රටේ ඉන්නත් එපා කලා. දැන් ඒ රටේ මිනිස්සු වැඩිය ඉගෙන ගන්නේ නෑ වියතෙක් උනොත් ලෝකෙට මූන දෙන්න බැරි නිසා.

හැබැයි එයා කියන්නේ එයා තමයි හොදටම කරේ කියලා. එයා කොච්චර හොදට කරාද කිව්වොත් එයා සහ එයාගේ වියත්තු ගහපු ගැසට් වලින් කියපු කතා වලින් දාපු පෝස්ට් වලින් රිවස් නොකලේ තෙල් මිල වැඩි කරපු එක විතරයි ද මන්දා.

…………………………………………………………..

දැන් 2024 ට එයාගෙම (හැම එකකින්ම 10% කොමිස් ගන්න) මල්ලි හරි (අවුරුදු 10ක් ම දේශපාලන කරලත් මෙලෝ වැඩක් නොකරපු) අයියගේ පුතා හරි ගේන්න හදනවා.
අනික් පැත්තෙන් තාත්තගේ පම්පෝරිය ගැනයි තමන්ගේ ඉංග්‍රීසි දැනුම ගැනයි කියවන උද්ධච්ච මනුස්සයෙක් එන්න හදනවා.
පස් සැරයක් අගමැති වෙලත් රට ගොඩ ගන්න බැරි වෙච්ච ගම්පලයත් ආපහු එන්න හදනවා.
රටේ තරුණ කැරලි දෙකක් කරපු අය නම් බලන්නේ මුල් පුටුවට එන්න නෙවෙයි තමන්ගේ 3% වැඩි කරගන්න මිනිස්සුන්ගේ ඔලුවට කතා කරන්න.

…………………………………………………………..

ඇයි අපිට බැරි මෙච්චර කල් බලයේ ඉදලා රටට කිසි දෙයක් නොකර රට ණය උගුලක හිර කරලා වලපල්ලට ඇදලා දාපු ඒ නිසාම මිනිස්සුන්ට එපාව්ව්ලා එලවපු අය ආපහු රටේ ඉහලම පුටුවට පත් නොකර ඉන්න.

ඇයි අපිට බැරි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ 5න් ඉදිරිපත් කරන කෙනෙක් නැතුව ඊට පිටින් ඉදිරිපත්වන කෙනෙක් රටේ මුල්පුටුවට ගේන්න.

රෝහණ කේ අමරකෝන්

1 thoughts on “අපිට අළුත් නායකයෙක් ඕනෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න