රජය ණය සහන ලබාදී ඇත්තේ හැකි අයටද නොහැකි අයටද?

පහත දැක්වෙන්නේ ප්‍රජා පාඨකයකු විසින් එවන ලද ලිපියකි

මම සංචාරක කර්මාන්තයේ යෙදෙන කෙනෙක් මම රජයේ බැංකුවකින් පුද්ගලික නය මුදලක් අරගෙන තියනව විශාල දේපොලක් ඇපයට තියල. කොවිඩ් ප්‍රශ්නය නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටුන නිසා මගේ අදායම් මාර්ගය සම්පූර්යෙණන්ම ඇණහිටියා. දැන් අදායම් මාර්ගයක් නෑ. මෑතදී රජයෙන් ප්‍රකාශ කළා අපට මාස තුනක ණය සහනයක් දෙනව කියල එහෙම නොදෙනව නම් ජනාධිපති ලේකම් කාර්යාලය අමතන්න දුරකථන අංකයක්ඇ පවා ප්‍රසිද්ධ කළා. අද මම අදාල බැංකුවේ කළමනාකරු හමුවුණේ එම මාස තුනේ ණය සහනය ලබා ගැනීම සදහායි. ඔහු මා හට පැවසූයේ මාගේ ණය වාරික ඇරියස් වී ඇති නිසා ණය සහනය ලබා දිය නොහැකි බවත්, චක්‍රලේඛය අනුව එම සහනය දිය හැක්කේ ණය වාරික ඇරියස් නැතිව ගෙවාගෙන යන අයට බවත්ය.

ණය වාරික ඇරියස් වී ඇති අයට රජයෙන් ලබා දෙන්නේ ඇරියස් මුදල ණය මුදලට එකතුකොට ණය මුදල නැවත සකසා අලුතින් වාරික ගෙවා ගෙන යෑමට බව ද ඔහු කීවා. එවිට වාරිකය තවත් වැඩි වෙනවා. ආණ්ඩුව කර ඇති දේ නම් ණය ගෙවා ගන්න අපහසු අය තවත් අපහසුවට පත්කොට වැඩි වාරිකයක් ඔවුන්ට ලබා දී ණය ගෙවන අයට සහනයක් ලබාදීමයි.

“දැන් ණය සහන ලබා දී ඇත්තේ කාටද? හැකි අයටද නොහැකි අයටද?” යි අපේ පාඨකයා අසයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයින් ලක්ෂ 34ක් පමණ සිටිති. තවත් ලක්ෂ 27ක්  ස්වයං රැකියාවන්හි නිරත වන අතර පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් සංඛ්‍යාව ලක්ෂ 2කට වැඩිය. මෙරට කම්කරුවන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ දෛනික වැටුප්වලිනි.

මේ වන විට මේ සියලු අංශවල සේවකයන් මෙන්ම සේවායෝජකයන් ද දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටිති. අර්බුදයෙන් ගොඩඒමට දරන උත්සාහයන්හිදී මුලින්ම සිදුවන්නේ විශාල පිරිසකට හිටිවනම රැකියා අහිමි වීමයි.

පළමු කොවිඩ් රැල්ලේදී රජය අනවශ්‍ය තරම් දැඩි ඇඳිරි නීතියක් රට පුරා දමාගෙන, දේශපාලන වාසි ලබාගැනීම සඳහා රු. 5,000 බැගින් කොවිඩ් සහනාධාර සමෘද්ධි අරමුදලෙන් බෙදමින් ආර්ථිකය විනාශ කර දැම්මේය. දෙවන, තුන්වන කොවිඩ් රැලිවලදී ආර්ථිකය පැදුරෙනුත් බිමට වැටිණි.

ලක්ෂ 14ක් පමණ වන රජයේ හා ආරක්ෂක හමුදා සේවකයන්ට හා රජයේ සේවයේ ලක්ෂ පහක් පමණ වන විශ්‍රාමිකයන්ට හැර අනෙකුත් සියලුදෙනාට මේ වන විට ආදායම් සම්බන්ධ දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවී තිබේ. මේ බොහෝදෙනෙකු ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය, පුනරාවර්තන වියදම්, ව්‍යාපාර සංවර්ධනය, ඉඩම් අත්පත් කරගැනීම, ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීම, වාහන හා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ කාරණා වෙනුවෙන් ලබාගත් ණය තිබේ. ඒ ණය ගෙවීම සඳහා සහන ලබාදෙන්නැයි සමාජයෙන් දැඩි ඉල්ලීමක් තිබේ.

එවැනි සහන ලබාදෙන බව වරින් වර රජය නිවේදනය කරනමුත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරවල බරපතල ගැටලු තිබෙන බව ඉහත දක්වන ලද උදාහරණයෙන් පෙනේ. ණය සහන නොදීමෙන් අවසානයේ සිදුවනු ඇත්තේ මේ ණය ගෙවාගැනීමට ණයලාභීන්ට බැරි වීම නිසා ඒවා බොල්ණය බවට පත්වීමයි. මෙය සමස්ත බැංකු පද්ධතියටම බලපානු ඇත.

කොවිඩ් හමුවේ මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇති බව බොරුවක් නොවේ. එහෙත්, මේ අන්දමින් ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා කඩාවැටෙන්නට යන වෙනත් රටවල් අඩුය.

ඡායාරූපය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියෙනි.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා