හදීසියකදි එන බඩේ වේදනාව ඇපෙන්ඩිසයිටිස්ද?(Appendicitis)

appendicitis in sinhala ඇපෙන්ඩිසයිටිස්

ඇපෙන්ඩිසයිටිස් (appendicitis) එහෙමත් නැත්නම් උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන්නේ ගොඩක් දෙනෙක් මුහුන දීලා තියෙන තත්ත්වයක් කියන්න පුලුවන්. ඒ කියන්නේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන්නේ ඒ තරමටම බහුල රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය සත්ව ලෝකයේ මිනිසා සහ තවත් වදුරු විශේෂයකට පමණක් සීමා වුන රෝගී තත්තවයක් කියලා හඳුන්වන්න පුලුවන්. ඒත් ඇයි appendicitis මිනිසාට විතරක් හැදෙන්නේ?

appendicitis in Sinhala

ඇත්තටම කීවොත් උණ්ඩුක පුච්ඡය (appendix) කියන්නේ මිනිසාගේ කුඩා අණ්ත්‍රය (Small intestine) සහ මහා අන්ත්‍රය (Large intestine) සම්බන්ධවන ස්ථානයේ පවතින කුඩා මල්ලක් වැනි අවයවයක්. එයින් විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ මාංශ භක්ෂයකන්ගේ ආහාරවල පවතින දිරාපත් නොවන කොටස් තාවකලිකව ගබඩා කර තැබීමයි.
නමුත් මිනිසා ඇතුලු වැඩි වශයෙන් ශාකමය ආහාර ලබාගන්නා සතුන්ගේ මෙය අත්‍යාවශය අවයවයක් නොවන බව හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේ අවයවය කෙමෙන් කෙමෙන් මිනිසාගේ ශරීරයෙන් ක්ෂිණවීගෙන යන කොටසක් විදියට කියන්න පුලුවන්. නමුත් මේ appendix කියන අවයවය නිසා මිනිසාට යම් යම් ගැටලු ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ අතරින් එකක් විදියට ඇපෙන්ඩිසයිටිස් එහෙම නැත්නම් උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හඳුන්වන්න පුලුවන්.

 

උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය /appendicitis ඇතිවන්නේ ඇයි?

මේ පිලිබඳ තවමත් නිවැරදි පැහැදිලි කිරීමක් හඳුනා ගන්න හැකිවෙලා නැ. නමුත් මේ සඳහා හේතුව විදියට දැනට පිලිගන්නේ විවිධ ආහාර කොටස් එකතුවීම (collection of food particles) නිසා එහි ඇති ක්ෂුද්‍රජීවි ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් ඇතිවෙන ප්‍රදාහක (inflamatory) තත්ත්වයක් විදියටයි.

 

 

උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇතිවන්නේ කාටද? (who get appendicitis)

උන්ඩුක පුච්ඡ ප්‍රදාහය බහුලවම දක්නට ලැබෙන්නේ කුඩා දරුවන්ගේ සහ නව යොවුන් වයසේ සිටින පිරිමි ලමයි අතරයි. එයිනුත් බටහිර රටවල මෙය පෙරදිග රටවලට වඩා බහුල තත්ත්වයක් විදියට හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් අහාරවල තන්තු සහිත බව අඩුවන විට මෙම තත්ත්වය ඇතිවීමේ ප්‍රවනතාව වැඩි මට්ටමක පවතින බව හඳුනාගෙන තිබෙනවා.


ඇපෙන්ඩිසයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද? (symptoms of appendicitis)

ඇපෙන්ඩිසයිටිස් කීව ගමන් ගොඩක් දෙනෙක්ට මතක් වෙනවා ඇත්තේ දකුණු පැත්තේ යටිබඩ අල්ලගෙන ඉතා අමාරුවෙන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඇපෙන්ඩිසයිටිස් කියන්නේ ගොඩක් වෙලාවට බඩේ මැද හෝ දකුනු පස පහල කොටසට වන්නට ඇතිවන ඉතා තද වේදනාවක්. ඊට අමතර විවිධ වෙනත් රෝග ලක්ෂණ පෙන්නන්න පුලුවන්.

ඒ අනුව පහත රෝග ලක්ෂණත් පෙන්නන්න පුලුවන්
1. යටි බඩ වේදනාව (lower abdominal pain)
2. වමනය (nausea and vomiting)
3. උණ (fever)
4. මුත්‍රා අඩස්සිය (fail to pass urine)


ඇපෙන්ඩිසයිටිස් නිසා ඇතිවන සංකූලතා මොනවාද? (Complication of the Appendicitis)

ඇපෙන්ඩිසයිටිස් කියන තත්වය සමහර අවස්ථාවල පැය කිහිපයකින් අඩු වෙලා යන්න පුලුවන්. ඒත් බොහෝ වෙලාවට ශල්‍යයකර්මමය ප්‍රතිකාර අවශ්‍යය වෙන තත්ත්වයක්. අවශ්‍යය අවස්ථාවේ ප්‍රතිකාර නොලැබීම නිසා උණ්ඩුක පුච්ඡය පැසවීමකට ලක්වෙන්න පුලුවන්. ඒ එක්කම සැරව එකතුවීමකින් පසු පිපිරීමට ලක්වෙන්න පුලුවන්. මේ නිසා උදරය තුල විෂබීජ පැතිර යාමෙන් (chemical peritonitis ) ඉතා ගැටලුකාරි මෙන්ම මාරන්තික තත්ත්ව ඇතිවෙන්න පුලුවන්.

 

ඇපෙන්ඩිසයිටිස් සඳහා සිදුකරන ප්‍රතිකාර මොනවාද? (treatments for appendicitis)

කලින් සඳහන් කරපු විදියට සමහර අවස්ථාවලදි ඇපෙන්ඩිසයිටිස් සඳහා ප්‍රතිකාර අවශ්‍යය වෙන්නේ නැ. නමුත් එය තීරණය කලයුත්තේ පලපුරුදු ශල්‍යය වෛද්‍යයවරයෙක් විසිනුයි. නමුත් බොහෝවිට ශල්‍යයකර්මමය ප්‍රතිකාර මගින් උණ්ඩුක පුච්චය ඉවත් කිරීම සිදුකරන්න වෙන අවස්ථා බහුලයි. මෙය උධරය විවර කිරීම (open appendicectomy) මගින් වගේම ලපරොස්කොපික් ක්‍රම (Laparoscopic appendicectomy) මගිනුත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අදාල රෝහලේ පවතින පහසුකම් අනුව සහ රෝගියාගේ කැමැත්ත අනුව විවෘත හෝ ලැපරොස්කොපික් ශල්‍යයකර්මයක් ‍තෝරා ගත හැකියි.

appendicectomy surgery in sinhala

ඒ එක්කම සමහර අවස්තාවල මුත්‍රා මාර්ගය ආශ්‍රිත ගල් (Urinary stones), පැලෝපීය නාල හෝ ඩිම්බ කෝෂ ආශ්‍රිත ගැටලු (problems of fallopian tube and ovary) ඇපෙන්ඩිසයිටිස් ලෙස වැරදියට හඳුනාගැනීම සිද්දවෙනවා. ඒ නිසා බොහෝවිට රෝගය හඳුනාගැනීම හා ස්කැන් (ultrasound scan) කිරීම බහුලව භාවිතා කිරීම සිදුවෙනවා.

 

ඇපෙන්ඩිසයිටිස් වලක්වාගන්නේ කොහොමද? (How to prevent appendictis)

සමීක්ෂණ වාර්තාවලට අනුව ආහාර වල තන්තු ප්‍රමාණය අඩු රටවල ජනතාවට ඇපෙන්ඩිසයිටිස් සඳහා වැඩි අවස්ථාවක් පවතිනවා. ඒ නිසාම ආහාරවල පවතින තන්තු ප්‍රමාණය පිලිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත් කරුණක්. ඒ සඳහා වැඩිපුර එළවලු, පලතුරු පලාවර්ග (high fiber diet) ආහාරයට එක් කර ගැනීම වැදගත් වෙනවා. එලෙසම සමහර අවස්ථා වලදී ආහාර මාර්ගයේ ජීවත්වන පනුවන් විසින්ද ආහාර මාර්ගය අවහිර කිරීම මෙයට හේතුවිය හැකියි. ඒ නිසාම නිසි කලයට පනු බෙහෙත් (warm prophylaxis )  ලබගැනීමද පසුකාලීනව මෙවැනි තත්ත්ව ඇතිවීම අඩු කිරීමට වැදගත් වෙනවා.

Referance

  1. Appendicitis , Johns Hopkins Medicine : https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/appendicitis

  2. Prystowsky, J. B., Pugh, C. M., & Nagle, A. P. (2005). Appendicitis. Current problems in surgery42(10), 694-742. https://doi.org/10.1067/j.cpsurg.2005.07.005

By Dr. Sanjaya U Jayasooriya

Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner.

Leave a comment

Your email address will not be published. Required fields are marked *