'විකෘත අංගාර' සමඟින් සුසිත රුවන් යළි කරළියට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 27, 2021

'විකෘත අංගාර' සමඟින් සුසිත රුවන් යළි කරළියට

සුසිත රුවන්. පළමුවෙන්ම ඔහු වෛද්‍යවරයෙකි. ලේඛකයෙකි. නවකතාකරුවෙකි. පරිවර්තකයෙකි. තිර රචකයෙකි. ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකි. ඒ වගේමයි ආදරණීය සැමියෙකි. පියෙකි. වෛද්‍ය සුසිත රුවන්, සිංහල පාඨකයන්ගේ ආදරයට ලක්වූයේ 'රාවණා මෙහෙයුම', ‘ඒ ඔහු නොවේ!’ 'මාරායණය', 'ඉකරස් පුනරාගමනය', 'එක්ස්', ආදී එකිනෙකට වෙනස් සුවිශේෂී ස්වතන්ත්‍ර නවකතා හරහාය. ඔහුගේ මුල්ම නවකතාවම 'රාවණා මෙහෙයුම' අතිශයින්ම ජනප්‍රිය කෘතියක් බවට පත්විය.

2018 වසරේ 'ඉකරස් පුනරාගමනය' වෙනුවෙන් සහ 2019 වසරේ 'එක්ස්' වෙනුවෙන් හොඳම විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය වෙනුවෙන් ඔහු රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වූ අතර, 2019 වසරේ ‘එක්ස්’වෙනුවෙන් එම සම්මානය දිනා ගත්තේය. 

වෙනස්ම ආරේ නිර්මාණයක් වූ ‘හේලි’ ටෙලිනාට්‍යයේ තිරරචකයා ඔහුය. සුසිත රුවන් ස්වතන්ත්‍ර ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ද පාඨකයන්ට දායාද කර තිබේ. 'ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ' නමැති එම ෂර්ලොක් හෝම්ස් වික්‍රමය‍, රහස් පරීක්ෂක කතාවලට ආදරේ කරන ලොකු පොඩි කාටත් නැවුම් අත්දැකීමක් වූ බව රහසක් නොවේ.
දැන් ඔහු යළිත් වරක් කරළියට පැමිණ ඇත. ඒ, ඔහුගේ නවතම පරිවර්තනය වන 'විකෘත අංගාර' විද්‍යා ප්‍රබන්ධ නවකතාව හරහාය. මෙය 'සරසවි’ ප්‍රකාශනයක් ලෙස එළිදක්වා තිබේ. කොතරම් කාර්යබහුල වුවත්, 'මවිත' වෙබ් අඩවියේ ඇරැයුම නිහතමානීව පිළිගනිමින් 'විකෘති අංගාර' නවකතාව ගැනත්, ලේඛන කටයුතු ගැනත් ඔහු අප සමඟ දොඩමලු වූයේ මෙසේය. 

මුලින්ම ඔබ ගැන කතා කරමු. කියන්න, සුසිත රුවන් කියන්නේ කවුද? 
ඔබ කිව්වා වගේම මම විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන්න ආස පුද්ගලයෙක්. මූලිකවම වෛද්‍යවරයෙක්. ඊට අමතරව නොයෙකුත් දෑ ගැන මගේ විනෝදාංශය වෙච්ච ලේඛනය අරමුණු වෙනවා. මගේ නවකතා හත, හත් විදිහක්. මම විවිධත්වයට කැමතියි. ඒක මගේ බුද්ධිය උත්තේජනය කරවන්නක්. මම සරල සැහැල්ලු පුද්ගලයෙක්. 

ඔබ ලේඛන කලාවට යොමු වීම සහ පොත් පරිවර්තකයකු වුණේ කොහොමද? 
මම කුඩා කල පටන්ම ලේඛනයේ නියැලුණු අයෙක්. එමෙන්ම විවිධ දක්ෂතා දැක්වූ අයෙක්. ඒක මගේ හැටි. කුඩා කළ පටන්ම විවිධ දෑ කළා. නවකතා කෙටිකතා කවි රචනය, නාට්‍ය රචනය, රඟපෑම, විවාද, ක්‍රීඩා, බාලදක්ෂ, ආදී පාසල් සමයේ සියලුම විෂය බාහිර ක්‍රියාකරකම්වල මම නියැලුණා. ඒ හැමදේටම වගේ සම්මාන සහතික ලබා තිබෙනවා. මම වෛද්‍යවරයෙකු වශයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු ලද විවේකයේදී මගේ පළමු ප්‍රකාශිත නවකතාව වන ‘රාවණා මෙහෙයුම’ ප්‍රකාශයට පත් කරන්නේ. එහි ජනප්‍රියත්වය දිගටම නවකතා නිර්මාණයේ යෙදෙන්නට මට මහඟු දිරියක් වුණා. පරිවර්තනයන් හිතවත් ප්‍රකාශන ආයතනවල ආරාධනාවන් අනුව සිදුවූ දෙයක්. 

දැන් ඔබේ අලුත්ම පරිවර්තනය 'විකෘත අංගාර' ගැන කතා කරමු. මොකක්ද මේ පරිවර්තනය? නෙට්ෆ්ලික්ස් නාළිකාවේ හරහා විකාශය වන 'ඕල්ටර්ඩ් කාබන්' කතාමාලාවට ඔබේ පරිවර්තන කෘතිය සම්බන්ධ වෙන්නේ කොහොමද? 
‘විකෘත අංගාර’ විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ සිද්ධීන් එන්නේ මානව විඥ්ඥානය පරිගණක ක්‍රමලේඛ ලෙස විකෘත අංගාර දෘඪාංග තුළ ගබඩා කිරීම සිදුවන කාලයක් ගැන. මේ නිසා ශරීරය විනාශ වී ගියත්, විඥ්ඥානය, නව ශරීරයකට යොමු කිරීමෙන් යළිත් ජීවත්වන්නට හැකියාව ලැබෙනවා. එම ‘විකෘත අංගාර’ තාක්ෂණය සහිත විසිපස්වන සියවසේ ජීවත්වන ටකේෂි කෝවැච් කියන පුද්ගලයා වටා මේ කතාව දිවයන්නේ. ඔහුට සිද්ධ වෙනවා ලෝරන්ස් බැන්ක්‍රොෆ්ට් නම් අතිශය ධනවත් අයෙකුගේ ඝාතනය ගැන සොයායන්නට. මේ රහස් පරීක්ෂණය ඔස්සේ කතාව සිනමා රූපීව වේගයෙන් දිවයනවා. රිචර්ඩ් මෝගන් නම් බ්‍රිතාන්‍ය විද්‍යාප්‍රබන්ධ ලේඛකයා විසින් රචිත මේ ‘ඕල්ටර්ඩ් කාබන්’ විද්‍යාප්‍රබන්ධ නවකතාව වෙනුවෙන්, ඔහු 2003 වසරේ හොඳම නවකතාව ලෙස පිලිප් කේ. ඩික් සම්මානය හිමිකරගත්තා. මෙම නවකතාව සයිබර්පන්ක් ශානරයේ විද්‍යා ප්‍රබන්ධයක් වශයෙන් ඉතාම ඉහළින් මෙම කෘතිය බොහෝ ඇගැයීමට ලක්වුණා. මෙසේ ‘විකෘත අංගාර’ නමින් මා අතින් පරිවර්තනය වූ මෙම ‘ඕල්ටර්ට් කාබන්’ නවකතාව පාදක කරගෙන තමයි මෑතකදී අතිශය ජනප්‍රියවූ එම නෙට්ෆ්ලික්ස් ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය වී ඇත්තේ. 

ඔබ 'ඕල්ටර්ඩ් කාබන්' පරිවර්තනය කරන්න යොමු වුණේ? 
මමත් විද්‍යාප්‍රබන්ධ ලේඛකයෙකු නිසා මගේ රසය සහ හැකියාව හඳුනාගත් මා හිතවත් සරසවි ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ චන්දු හපුතන්ත්‍රී මහතා මට මේ ‘ඕල්ටර්ඩ් කාබන්’ සම්මානලාභී නවකතාව පරිවර්තනයට ආරාධනා කරනවා. එතුමාගේම ආරාධනයෙන් තමයි මම පරිවර්තනය ආරම්භ කලේ, ‘සදන් රීච්’ කෘති ත්‍රිත්වය සමඟ. මගේ ලේඛක දිවිය ඇරඹුණේත් සරසවි ප්‍රකාශන ආයතනය සමඟ බව මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. 

'ඕල්ටර්ඩ් කාබන්' ටෙලි කතාමාලාව ඔබ නරඹා තියෙනවාද? 
නෙට්ෆ්ලික්ස් ටෙලිනාට්‍ය මම නැරඹුවා. එය ඉතාම රසවත්. නවකතාවට හොඳ සාධාරණයක් ඉටු කර තිබෙනවා. බොහෝදුරට මේ කතාව ඒ ලෙසින්ම වගේ එහි සාර්ථකව යොදාගෙන තිබුණත් ටෙලිනාට්‍ය තුළ යම් යම් වෙනස්කම් කර තිබෙනවා. දෙකම එක වගේම රසවත් වුණාට ඇතැම් තැන්හී ටෙලිනාට්‍යත්, ඇතැම් තැන්හී නවකතාවත් මගේ සිත වැඩිපුර ඇද ගත්තා. 

ඔබ ලේඛකයකු හෝ පරිවර්තකයකු ලෙස මුහුණ දෙන අභියෝග මොනවාද? 
මම මුහුණ දෙන අභියෝගය තමයි නවකතා ලියන්නට මට දැන් වෙලාව අඩු කම. මම කියන්නේ මානසික නිදහස. මගේ වෘත්තිය සහ පවුල් ජීවිතය අනුව ලේඛනයට තිබූ නිදහස මගේ මුල් කෘතිය ලියූ තනිකඩ කාලයට වඩා අඩුයි. ඒක ඉතින් ලෝක ස්වභාවය. ඒත් පරිවර්තන සඳහා ඇති ඉල්ලුම සහ ගෙවීම ස්වතන්ත්‍ර නිර්මාණවලට නොලැබීම ගැනත් මම සඳහන් කළ යුතුයි. ඒ ගැන මගේ තියෙන්නේ කලකිරීමක්.ඒක ඉතින් මේ රට පොඩි රටක් නිසා වෙච්ච දෙයක් කියල හිතල හිත හදාගන්න මට නම් අමාරුයි. එය වෙනස් විය යුතු දෙයක් රටක සාහිතය ඉහළට එන්න නම්. අනිත් අභියෝගය තමයි පරිවතකයෙකුට තමන්ට කැමති කෘතියක් පර්වර්තනය කරන්නට ඇති නෛතික බාධාව. විදේශ රටක කෘතියක් පරිවර්තනය කිරීමට අයිතිය ලබා දෙන්නේ ප්‍රකාශන ආයතනයකට මිස ලේඛකයෙකුට නෙමෙයි. එය නීතිය. එහෙත් මෙය පරිවර්තකයාට ඇති අභියෝගයක් වශයෙන් මා දකිනවා. 

ඔබේ ෂර්ලොක් හෝම්ස් වික්‍රමය ගැනත් අහන්නම ඕනෑ. 
ඒ ගැනත් පොඩ්ඩක් මතක් කළොත්. 
ඔව්. මම කුඩා කළ පටන්ම ප්‍රියකළ ශානරයක් රහස් පරීක්ෂක කතා. ඒ අතරේ කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් ලෝකයේම මුල් තැන ගන්නවා. එය රහස් පරීක්ෂක කතා ලියන කියවන කාගේත් එකසේ ගෞරවයට පාත්‍රවන ශුද්ධ වූ බයිබලය වගේ ඉහලම තැන තිබෙන්නක්. එයට යම් එකතුවක් කිරීම හරිම අවදානම් වැඩක්. මම ඒ අභියෝගය මටම කරගත්තා. මම හිතනවා ‘නැගෙනහිර සුළඟ’ ට ලැබෙන පාඨක ප්‍රශංසා අනුව මම ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියලා. සැහෙන වෙහෙස මහන්සි වී කරුණු සොයා ගොස් කරන ලද නිර්මාණයක් එය. එම කෘතිය රචනය ගැන මම ඉමහත් ආඩම්බර වෙනවා. 

ඔබ වෛද්‍යවරයෙක්, ලේඛකයෙක්. පරිවර්තකයෙක්. 
තිර රචකයෙක්. රංගන ශිල්පියෙක්. කොහොමද 
මේ හැමදේම කරන්නේ? 
ඒ ඒ වෙලාවට ඒ ඒ දේ කරන එක මගේ හැටි. ඒ ඒ මොහොතේ මම ඒ ඒ චරිතය විඳිනවා. කාලය ඇත්තෙන්ම ඕනෑවට වඩා අපි කාටත් තියෙනවා. සැමදේම තීරණය වන්නේ අපේ උනන්දුව මතයි.

ඔබේ කෘති එකිනෙකට වෙනස්. පරිවර්තනය කිරීම්වලදී තෝරා ගැනීමක් කරනවාද? 
මම අර කලින් කිව්ව වගේ පරිවර්තන කිරීමේදී විවිධ ප්‍රකාශකයන් ලබා දෙන කෘතීන් කියවා බලා මම මට සුදුසු මෙන්ම මට හැකියාව ඇති දේවල් මම තෝරා ගන්නවා. මට නීරස මෙන්ම මට නොහැකි නිර්මාණ දෙකකුත් මම ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් ආස කෘතියක් පරිවර්තනය කරනවා කියන්නේ නෛතික තත්ව යටතේ කරන්න බැරි වැඩක්. මොකද මම එහෙම කරන්න ගියපු අවස්ථා දෙකකුත් අසාර්ථක වුණා, ඒ ඒ ප්‍රකාශන ආයතන සමඟ ඇතිවූ ගැටලු නිසා. ඒ නිසා මම ඉස්සරහට බොහෝදුරට ආරාධනා මත ප්‍රකාශන ආයතනව වෙනුවෙන් පරිවර්තන කළොත් මිසක් කවදාවත් මම කරන්න කැමති කියල කෘතියක් පරිවර්තනය කරන එකක් නැහැ. බොහෝදුරට.
"විකෘත අංගාර" කෘතියට සමරු අත්සන් යොදමින් ...
අපේ රටේ පරිවර්තන නවකතා ගැන සහ පරිවර්තන ලේඛකයෝ ගැන ඔබ මොකද හිතන්නේ? 
පුද්ගලයන් විවිධයි. දක්ෂ අය ඉන්නවා. අදක්ෂ අය ඉන්නවා. මම බොහෝ ක්ෂේත්‍රවල කටයුතු කළ අයෙක්. කොයි ක්ෂේත්‍රයේත් එහෙමයි. මමත් දැන් ලේඛකයෙකු මෙන්ම පරිතකයෙකු ද නිසා බොහෝ අය දැන් මගේ මිත්‍රයන්. ඒ නිසා මම ඒ ගැන ඊට වඩා මොකුත් නොකියා ඉන්නම්.

ඔබේ නිර්මාණවලට උදවු කරන අය කවුරුද? ඉදිරියේ දී තව මොන වගේ නිර්මාණවලටද දායක වෙන්නේ සහ පාඨක ප්‍රතිචාර මොනවාද? 
මගේ නිර්මාණවලට වැඩිම උදව්ව කරන්නේ ඒවා වටා රැස්වන මගේ ආදරණීය පාඨකයන්. ඔවුන් මගේ කතා කියවා දිරිගන්වන නිසා තමයි මම දිගටම ලියන්නේ. මේ අතරින් මගේ කෘතීන් පළවීමට පෙර කියවා අදහස් දක්වන මගේ විශ්වාසී පාඨක පිරිසකුත් ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක් මගේ අඩුපාඩු හදාගන්න. මම පාඨක අදහස් අනුව එන්න එන්න මගේ ඉදිරි නිර්මාණ සාර්ථක කරගන්න තරම් විවෘත මනසක් තියෙන අයෙක්. ඉදිරියේදී බොහෝදෙනා ඉල්ලා සිටින රාවණා මෙහෙයුමට තෙවන කොටසක් දායාද කරන්නත් බොහෝ දුරට විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රයෙන් ලියන්නත් මම අදහස් කරනවා. නමුත් හාත්පසින් ම වෙනස් ලේඛන ශානරවලින් මගේ නිර්මාණ කිහිපයක්ම කරන්නට දැනටමත් පිඹුරුපත් සකසා අවසන්. මම ආසයි වෙනස් වෙනස් ආකාරවල නිර්මාණ කරන්න. ඒක ලේඛකයෙකු වශයෙන් මම විඳින රසය. බලමු. අනාගතය සුබවාදී වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

'ඕල්ටර්ඩ් කාබන්' නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ ප්‍රචාරක පටයක්...

Classified_Ad

Classified_Ad_News_Bottom