ඔලිම්පික් උළෙලේ බර අදින ඔලිම්පික් කමිටුව

ඔලිම්පික් උළෙලේ ගමන් මග 03

580

ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය එසේත් නොමැති නම් ලොව සාර්ථකම ක්‍රීඩා තරගාවලිය ලෙස ගිම්හාන ඔලිම්පික් උළෙල හැඳින්විය හැකි.

පුරාණ ඔලිම්පික් උළෙලවල් වලින් පසු නියමාකාරයෙන් සංවිධානය නොවී එක් එක් රටවලට ඕනෑ පරිදි පැවැත්වූ ඔලිම්පික් උළෙල නිවැරදි ලෙස සංවිධානය කරමින් ලොව පුරා ගෙන යෑමට මූලික වූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවයි.

වසර 4කට වරක් ලොව පුරා රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වන මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා ඔලිම්පික් කමිටුවෙන් සිදු කරන සේවය ද සුළුපටු නොවේ.

  • ආරම්භය 

අන්තර්ජාතික ජාතික ඔලිම්පික් කමිටුව පිහිටුවීමට මූලිකත්වය ගන්නේ Pierre de Coubertin නම් වංශාධිපතියා විසිනි.

වෙන්ලොක් ඔලිම්පික් සමාජය විසින් සංවිධානය කළ 1980 ඔලිම්පික් උළෙලට සහභාගි වීමෙන් පසු Pierre de Coubertin විසින් ඔලිම්පික් කමිටුව නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා Brookes සහ Zappas යන අයවලුන්ගේ ද දායකත්වය හිමි විය.

Pierre de Coubertin

ඒ අනුව වසර හතරක සංවිධානයකින් අනතුරුව ඔලිම්පික් උළෙලේ අනාගතයට ඉතා වැදගත් වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිහිටුවීමට 1984 දී හැකි වුනා.

1984 වසරේ ජූලි 16 සිට 23 දක්වා ප්‍රංශයේ පැරිස් නුවර සෝබෝන් විශ්වවිද්‍යාලයේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ පළමු සැසිවාරය පැවැත්වූ අතර එම සැසිවාරය අතරතුර දී ඔලිම්පික් උළෙල ලොව පුරා ගෙන යාම ඇතුළු කරුණු රාශියක් Pierre de Coubertin විසින් කමිටු සාමාජිකයන්ට ඉදිරිපත් කරන ලදි.

පළමු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්‍රීක ලේඛක Demetrius Vikelas පත් කිරීමට කටයුතු කළ අතර ඔලිම්පික් කමිටුවේ පූර්ණ අධීක්ෂණය සහ අනුග්‍රහය යටතේ 1896 ඔලිම්පික් උළෙල (පළමු නූතන ඔලිම්පික් උළෙල) ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී පැවැත්වීමට ද එහි දී තීරණය විය.

  • අරමුණු සහ ඔලිම්පික් කමිටු පදනම 

ආරම්භයෙන් පසු ස්විස්ටර්ලන්තයේ ලූසාන් හී සිය ප්‍රධාන මූලස්ථානය පිහිටුවා ගැනීමට ඔලිම්පික් කමිටුව කටයුතු කළා. ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන, මාධ්‍ය ආයතන, ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසකගෙන් සමන්විත වන ඔලිම්පික් කමිටු පදනම ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.

  • ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන හෝ කමිටු 

යම් කිසි ක්‍රීඩාවක් අන්තර්ජාතික මට්ටමෙන් අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති සම්මේලන හෝ සංගම් මෙයට අයත් වන අතර දැනටමත් එලෙස ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් 35ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු පදනමට අයත් වේ.

උදාහරණයක්: ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA)

  • ජාතික ඔලිම්පික් කමිටු 

එක් එක් රටවල්හී ජාත්‍යන්තරව ඔලිම්පික් කමිටුවට නියෝජනය කරමින් එම රටේ    ඔලිම්පික් කටයුතු අධීක්ෂණය කරන්නේ ජාතික ඔලිම්පික් කමිටු විසිනි. මේ වන විට ජාතික ඔලිම්පික් කමිටු 205ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ ලියාපදිංචි වී ඇත.

  • ඔලිම්පික් සංවිධායක කමිටු 

ඔලිම්පික් උළෙලක් සංවිධානය කිරීමේ දී එම සත්කාරක රටේ නිලධාරීන් යොදා ගනිමින් නිර්මාණය කරන තාවකාලික කමිටුවක් ලෙස මෙය හැඳින්වේ. මෙම කමිටු ක්‍රියාත්මක වෙන්නේ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු පමණක් වන අතර එයින් පසු එම කමිටු විසුරුවා හැරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කරයි.

එලෙස විශාල පිරිසකගෙන් සමන්විත මෙම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලොව විශාලතම ක්‍රීඩා සංවිධානය ලෙස ද හැඳින්විය හැකි අතර එහි ප්‍රධාන අරමුණු කිහිපයක් ඇත.

  • සංවිධානය දිරිමත් කිරීමට සහය ලබා දීම, ක්‍රීඩාවන් සහ ක්‍රීඩා තරග සම්බන්ධීකරණය සහ සංවිධානය කිරීම.
  • ඔලිම්පික් උළෙල සැමරීම, සහතික කිරීම සහ සත්කාරකයින් තෝරාගැනීම.
  • රාජ්‍ය සහ පෞද්ගලික සංවිධාන සහ නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ක්‍රීඩාව මිනිසාගේ සුබසිද්ධිය උදෙසා යෙදවීමටත් සහ එය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීම.
  • ඔලිම්පික් උළෙල සඳහා බලපාන ඕනෑම අභියෝගයකට එරෙහිව කටයුතු කිරීම.
  • කාන්තාවන් සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධන කිරීම, දිරිගැන්වීම සහ සහය දීම තුළින් ක්‍රීඩාව තුළ පිරිමින් සහ කාන්තාවන් අතර සමානත්වයක් ඇති කිරීම.

මීට අමතරව ඔලිම්පික් පදනමට අයත් සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීම, අනුග්‍රාහකයන් සොයා ගැනීම, ක්‍රීඩකයන්ට ශිෂ්‍යත්ව ලබා දීම වැනි කටයුතු ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රියාවන්ට අයත් වේ.

එමෙන්ම ඔලිම්පික් කමිටුව තුළ භාවිතා කිරීමට හැකියාව ඇත්තේ ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වය වන අතර ඊට අමතරව ඔලිම්පික් සත්කාරකත්වය දරන රටේ භාෂාව පමණක් භාවිතා කිරීමට අවසර හිමි වේ.

  • වාණිජකරණය

ආරම්භයේ සිට 20 වැනි සියවස අගභාගය වනතුරුම ඔලිම්පික් කමිටුව සුළු මූල්‍ය තත්වයක් යටතේ පවත්වා ගෙන ගිය අතර ඔලිම්පික් කමිටුව මූල්‍ය තත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමට ගිය අවස්ථා ගණනාවක දී ම එහි පසුකාලීන සභාපතිවරයෙකු වූ Avery Brundage විසින් එම කටයුතු නැවැත්වීමට කටයුතු කළා.

වෙනත් පාර්ශවයන් ඔලිම්පික් කමිටුව හා සම්බන්ධ වීම තුළින් ඔවුන්ගේ තීරණයන්ට බලපෑම් එල්ල විය හැකි බව ප්‍රකාශ කරමින් අනුග්‍රාහක ගිවිසුම්වලට පවා නොයෑමට Avery Brundage තීරණය කර තිබුණා.

Avery Brundage

ඒ අනුව ඔහු විශ්‍රාම යන තුරුම කිසිදු වාණිජකරණයක් සිදු නොවූ අතර ඔහු විශ්‍රාම යන විට ඔලිම්පික් කමිටුවේ සමස්ත මූල්‍ය තත්වය ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණක් විය. නමුත් ඉදිරි වසර අට තුළ දී සිය වත්කම ඩොලර් මිලියන 45ක් දක්වා වර්ධනය කරගැනීමට ඔලිම්පික් කමිටුවට හැකි වුනා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට මුල් වූ සභාපතිවරයා ලෙස Juan Antonio Samaranch හැඳින්විය හැක. 1980 වසරේ සභාපතිවරයා ලෙස පත්වූ ඔහුගේ දූරදර්ශී ක්‍රියා කලාපය නිසාවෙන් 1984 ශ්‍රීත ඔලිම්පික් උළෙලේ දී විශේෂ අනුග්‍රාහකයන් තුළින් ඩොලර් මිලියන 225ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට ඔවුන් සමත් වුනා.

Juan Antonio Samaranch

එම සිදුවීමෙන් පසු අනුග්‍රහකත්වය පිළිබඳව ඔලිම්පික් කමිටුවේ වැඩි අවධානයක් යොමු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1985 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් The Olympic Partner නම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට Antonio Samaranch කටයුතු කළා. 

එම වැඩසටහනේ වසර 4ක සාමාජිකත්වය සඳහා ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවීමට සිදු වන අතර එහි සාමාජිකත්වය ලබාගත්තෙකුට තම නිෂ්පාදන ප්‍රචාරණය සඳහා ඔලිම්පික් සන්නාමය භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.

  • චෝදනා 

ලොව විශාලතම ක්‍රීඩා සංවිධානය මෙන්ම ලොව වැඩියෙන්ම චෝදනා ලැබූ සංවිධානය ලෙස ද ඔලිම්පික් කමිටුව හැදින්වීමට පුළුවන්. ඔලිම්පික් කමිටුවට එල්ල වූ ප්‍රධානතම චෝදනාව වන්නේ ඉතා මුරණ්ඩු සහ ඒකාධිපති සංවිධානයක් බවයි.

Avery Brundage සභාපතිවරයාව සිටි සමයේ දී මෙලෙස ඔලිම්පික් කමිටුව දැඩි ලෙස චෝදනාවන්ට ලක්ව තිබූ අතර වසර 20ක් පුරාවට ඇදුණු ඔහුගේ නිල කාලය තුළ දී ඔලිම්පික් උළෙලවල් වලට දේශපාලන ලෙස ඇඟිලි ගැසීම් සිදු කිරීම පිළිබඳව වැඩි කතාබහකට ලක්ව තිබුණා.

එමෙන්ම වර්ණභේදය පිළිබඳව සහ යුදෙව්වන් පිළිබඳව ඔහු කටයුතු කළ ආකාරය නිසාවෙන් දැඩි අන්තවාදී පාලනයක් ඔහුගේ සමයේ සිදු වූ බවට ද චෝදනාවන් එල්ලව තිබූ අතර ඔහුගේ පාලන සමය ඔලිම්පික් කමිටුවේ දූෂිතම කාලසීමාව ලෙස ද බොහෝ දෙනා හඳුන්වනු ලබයි.

1972 ඔලිම්පික් උළෙල අතරතුර දී පලස්තීන ත්‍රස්තවාදීන් අතින් මරණයට පත්වූ ඊශ්‍රායලය ක්‍රීඩකයන් වෙනුවෙන් ඔලිම්පික් උළෙලේ දී නිහඬතාවයක් පැවැත්වීමට සිදු කළ ඉල්ලීම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ප්‍රතික්ෂේපිත කර තිබූ අතර එම සිදුවීම නිසා ඔලිම්පික් කමිටුව යනු අනුකම්පා විරහිත සංවිධානයක් බවට ද බොහෝ සංවිධාන පෙන්නා දෙනු ලැබුවා.

ඒවාට අමතරව 2002 සහ 2021 ශ්‍රීත ඔලිම්පික් උළෙලවල් සඳහා සත්කාරකයින් තෝරාගැනීම සඳහා සිදු කළ ලංසු තැබීමේ දී ඔලිම්පික් කමිටු නිලධාරීන් විසින් අල්ලස් ගත් බවට ද අවස්ථා ගණනකදී  චෝදනා ලැබූ අතර 2002 සිදුවීමේ දී නිලධාරීන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමක් ද සිදුවු නා.

  • වර්තමාන පාලනය 

චෝදනාවන් සියල්ලටම පිළිතුරු සපයමින් ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස වර්ධනය වන ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජර්මානු ජාතික Thomas Bach විසිනි.

Thomas Bach

එහි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස බෙල්ජියම් ජාතික Christophe De Kepper කටයුතු කරන අතර Anita DeFrantz, Yu Zaiqing, Ng Ser Miang සහ John Coates උප සභාපතිවරුන් ලෙස කටයුතු කරයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

මූලාශ්‍ර: Wikipedia

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<