Mask අනිවාර්ය නැති රටවල් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 23, 2021

Mask අනිවාර්ය නැති රටවල්

‘ජූනි 28 වැනිදා සිට මුහුණු ආවරණ අනිවාර්ය නැහැ’ මෙසේ කියන්නේ, ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී ය. ඉතාලිය යනු කොරෝනා වසංගතය ආරම්භයේ එයින් දරුණු ලෙස බැට කෑ යුරෝපා රාජ්‍යයයි. රෝහල් ආසාදිතයන්ගෙන් පිරී, නිවෙස්වල මළ සිරුරු ගොඩ ගැසෙන්න වූයේ මුළු ලොවම කම්පා කරමින්ය. ඉතාලි සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් අනුව, ඉතාලි රජය, මුහුණු ආවරණ එසේත් නැතිනම් 'මාස්ක් පැලඳීම අනිවාර්ය යැයි නිවේදනය කළේ පසුගිය 2020 ඔක්තෝබරයේය.

ඒ වනවිට ඉතාලිය කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලට මුහුණ පා සිටියේය. ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවෙද්දී, වයිරස ව්‍යාප්තිය මර්දනය කර ගැනීමට ඉතාලි සෞඛ්‍ය අංශ නොකළ දෙයක් නොමැත. සෞඛ්‍ය අංශ ගත් සෑම තීරණයකම ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී ප්‍රමුඛ රජය එකඟ විය. ඒ, රටේ ආර්ථික කටයුතු දිනෙන් දින කඩා වැටුණත්, රට වැසියන්ගේ ජීවිත ඊට වඩා වටිනා බව පවසමිනි. 

කෙසේ නමුත්, මේ වනවිට ඉතාලියේ තත්ත්වය වෙනස්ය. එන්නත්කරණ වැඩසටහන ද වේගයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ අතරතුරේ ආසාදිතයන්ගේ අඩු බවක් ද දකින්න ලැබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ද අඩු වීමට පටන්ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පනවා තිබුණු සංචරණ තහංචි පසුගිය අප්‍රේල් මාසයේ කෙමෙන් කෙමෙන්, පියවරෙන් පියවර ලිහිල් වූයේ ඒ අනුවය. 
පසුගිය 22 වැනිදා වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන සඳහන් වූයේ 4,253,460 ක් ලෙසය. සමස්ත මරණ ගණන 1,27,291 ක් ලෙස සඳහන් විය. සුවය ලැබූ ගණන 4,049,316 කි. රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 76,853 කි. ඔවුන්ගෙන් 385 දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද පැවැසිණි.

මුහුණු ආවරණ අනිවාර්ය නොවන නමුත්, පොදු ප්‍රවාහන භාවිතයට ගැනීමේදී සහ පොදු ස්ථානවලට යෑමේදී මුහුණු ආවරණ පැලඳ සිටිනවා නම් එය ඔබේ ආරක්සාවට සුදුසු යැයි ද ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී ජනතාව අමතමින් පැහැදිලි කළේය.

'මුහුණු ආවරණ අනිවාර්ය නැහැ. මුහුණු ආවරණ නෑ කියලා කාටවත් දඩුවම් කරන්නෙත් නැහැ. ඒත් වයිරසයේ බිහිසුණු බව අප කාටත් වඩා හොඳින් දන්නවා. ඒ නිසා පොදු ස්ථානවල සිටිද්දී, පොදු ප්‍රවාහන සේවා භාවිත කරද්දී, ආයතන තුළ පිරිසක් සමඟ ගැවසෙද්දී මුහුණු ආවරණ පලඳින්න එය අප කාගේත් ආරක්ෂාවට හොඳයි.' යැයි ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සිහිපත් කර දෙමින් පැහැදිලි කළේය. 

මේ වනවිට ඉතාලියේ ජනගහනයෙන් සියයට 25 කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත. සියයට 52 කට වැඩි පිරිසකට එක මාත්‍රාවක් හෝ ලැබී ඇතැයි පැවැසෙයි. ඒ අනුව, සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් සිදු කළ පළමු යුරෝපා රට ලෙස ඉතාලිය හැඳින්විය හැකිය. 

ඉතාලිය අයත් යුරෝපා කලාපයට 'ඩෙල්ටා' විකෘතියෙන් බලපෑම් එල්ලවීමට පටන්ගෙන ඇත. මහා බ්‍රිතාන්‍යයේ ලොක්ඩවුන් තහංචි තව දුරටත් දීර්ඝ කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කළේ මෙම 'ඩෙල්ටා' විකෘතිය නිසාය. 

'ඩෙල්ටා' විකෘතිය යනු ඉන්දියාවෙන් පළමු වරට හඳුනාගත් කොරෝනා විකෘති වයිරස ප්‍රභේද දෙකක මුසුවකි. විකෘති ප්‍රභේද සොයා ගන්නා රටවලින් ඒවා හැඳින්වීම, එම රටට අපකීර්තියක් වන බැවින්, මේ වනවිට ලොව නන්දෙසින් හමුවන විකෘති ප්‍රභේද හැඳින්වීම සිදු කරන්නේ ග්‍රීක අක්ෂර භාවිතයෙනි. 

ඉන්දීය විකෘතිය 'ඩෙල්ටා' වූයේ එලෙසිනි. ප්‍රංශයෙන් සහ ස්පාඤ්ඤයෙන් ද ඩෙල්ටා විකෘතිය හමුවී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වනවිට ලොවට ලොකුම තර්ජනය ඇත්තේ 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතියෙන් බවය. මෙය සාමාන්‍ය කොරෝනා වයිරසයටත්, සෙසු විකෘති ප්‍රභේදවලටත් වඩා ඉතා බිහිසුණු එකකි. 

පැතිරීම වේගවත් වන අතර වයිරසයෙන් සිරුරට එල්ල වන අහිතර බලපෑම ඉතා වැඩිය. ප්‍රතිශක්තිය අඩු, පාලන කර නොගත් බෝවන රෝගවලින් පෙලෙන පුද්ගලයන්ට 'ඩෙල්ටා' විකෘතිය මාරක ය. ඉන්දියාව 'විසාලාවක්' කළේ මෙම විකෘතිය බව අප සිහියට ගත යුතුය. 

ඉතාලිය පමණක් නොවෙයි, මේ වනවිට 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වූ තවත් රටවල් කීපයක් ද මුහුණු ආවරණ නීති ලිහිල් කර තිබේ. එම රටවල ද මුහුණු ආවරණ අනිවාර්ය නොවෙයි. සිය ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත්කරණය කළ රට ඊශ්‍රායලයයි. ඒ අනුව, මුහුණු ආවරණ අනිවාර්ය නීතිය පළමුවෙන් ඉවත් කෙරුණු රට ද ඊශ්‍රායලයයි. 
පසුගිය අප්‍රේල් 24 වැනිදායින් පසු, ඊශ්‍රායලයෙන් කිසිදු නව ආසාදිතයකු හමුවී නැත. ඒ අනුව, සංචරණ සීමා ලිහිල් කිරීම සිදුවිය. ඊශ්‍රායලය වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සමඟ සෘජුව සාකච්ඡා පවත්වා, කාටත් පළමුවෙන් 'ෆයිසර්' එන්නත් ඊශ්‍රායලයට ගෙන්වා ගැනීම කළේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. 

එසේ වුවත් ජනතා ප්‍රසාදයක් දිනා ගැනීමට නෙදන්යාහුට එය ප්‍රමාණවත් නොවිණි. නෙදන්යාහුගේ වසර 12 ක පාලනය මේ වනවිට අවසන් වී ඇත. ඒ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ එක් වී කවුරුත් අපේක්ෂා නොකළ අයුරින් සන්ධාන රජයක් පිහිටුවා ගැනීමය. එම රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මේ වනවිට කටයුතු කරන්නේ නෆ්තාලි බෙනට්ය.

තවමත් ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් 8,39,000 පසු කර ඇති අතර, මරණ වාර්තා වන්නේ 6,392 ක් ලෙසය. කෙසේ නමුත් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය ආරම්භ කළ 'එන්නත්කරණ' වැඩසටහන සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීම අරඹා ඇත. 

ඇමෙරිකා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ඇමෙරිකාවේ වයිරස ව්‍යාප්තියේ පාලනයක් සිදු වී ඇත. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ඇමෙරිකානුවන්ට 'මාස්ක්' අනිවාර්ය නොවන බව ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. කෙසේ නමුත් ක්‍රීඩා තරග, සන්දර්ශන ආදී ජනතාව එක්රොක් වන ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳ සිටින්නැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ. 

 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූ අවස්ථාවේ පටන් එය සාර්ථකව මර්දනය කරගත් රට නවසීලන්තයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නවසීලන්තයට නිරන්තරයෙන් ප්‍රශංසා කරන්නේ ද මේ නිසාය. නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 2,568 ක් වන අතර වාර්තා වී ඇති මරණ ගණන 26 කි. නවසීලන්තයේ මුහුණු ආවරණ අනිවාර්ය නොවෙයි. 'කොවිඩ් 19' වයිරස වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයෙනි. චීන රජය, එරට හමුදාව සහ සෞඛ්‍ය අංශ එක් වී කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වී ඇත. 

අද චීනයේ ද මුහුණු ආවරණ අනිවාර්ය නොවෙයි. සංචරණ සීමා ද ලිහිල් කර අවසන්ය. චිනයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 90,908 ක් වන අතර, සමස්ත මරණ ගණන 4,636 කි. චීනය එරට වැසියන් බිලියනයකට‍, 'කොවිඩ් 19' එන්නත් ලබා දී අවසන් යැයි ද පසුගිය දා පැවැසීය. චීනය 'කොවිඩ් 19' වයිරස වසංගතයට එරෙහිව එන්නත් කීපයක් නිපදවා ඇත. එයින් වඩාත් සාර්ථක බව පැවැසෙන්නේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' නමැති එන්නත් වර්ග දෙකය. 'සයිනෝෆාම්' එන්නත අපට ද ආගන්තුක නැත. ආරම්භයේ දී චීනයේ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කළත් මේ වනවිට එය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී.

භූතානය යනු ඉන්දියාවටත් චීනයටත් මායිම්ව පිහිටින බෞද්ධ රාජ්‍යයකි. ජනගහනය 7,50,000 කි. චීනයෙන් ආසාදිතයන් වාර්තා වෙද්දී හෝ ඉන්දියාවේ 'කොවිඩ් 19' වසංගතය දරුණු වෙද්දී හෝ එයින් භූතානයට පසුබෑමක් සිදු නොවිණි. භූතානයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 1,309 ක් වන අතර මියගියේ එක් අයකු පමණි. කිසිදු 'ලොක්ඩවුන්' ක්‍රියාවලිකට නොගොස් වයිරස ව්‍යාප්තිය පාලනය කළ එකම රට භූතානයයි. එපමණක් නොව, භූතාන වැසියන්ගෙන් සියයට 90 කට මේ වනවිට එන්නත් ලැබී අවසන්ය. ශ්‍රී ලංකාවේ අපට මෙන්ම භූතාන වැසියන්ට ලැබුණේ ද ඉන්දියාවේ නිපදවූ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතය. 
ශ්‍රී ලංකාවේ අපට මෙන්ම, භූතාන රජයට ද එම එන්නත ලැබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'වැක්සින් මෛත්‍රී' යටතේ නොමිලේය. එක් පුද්ගලයකුට ' කොවිෂීල්ඩ්' පළමු මාත්‍රාව ලබා දෙද්දී, ඔහුගේ දෙවැනි මාත්‍රාව ඉතිරි කෙරුණි. ඒ අනුව, නිසි කළමනාකරණයක් යටතේ පළමු සහ දෙවැනි මාත්‍රා නියමිත පරිදි රට වැසියන්ට ලබාදීම සිදුවිය. සියයට 90 කට, පළමු මාත්‍රාව ලබා දීම සති දෙකක් ඇතුළත සිදුවිය. නියමිත සති ගණන සම්පූර්ණ වෙද්දී දෙවැනි මාත්‍රාව ද සති දෙකක කාලයක් ඇතුළත ලබා දීම සිදුවිය. ලොව සතුටින්ම සිටින ජනතාව ජීවත් වන්නේ භූතානයේ යැයි කියන්නේ නිකම් නොවෙයි. 

භූතානය 'සාර්ක්' සාමාජිකයෙකි. ශ්‍රී ලංකාවේ ද මිතුරෙකි. සාමකාමී රාජ්‍යයකි. භූතානයට රජකු සිටී. භූතාන අග්‍රාමාත්‍යවරයා 52 හැවිරිදි ලොටේ ෂෙරිංග් ය. ෂෙරිංග් විශේෂඥ වෛද්‍යවරයෙකි. ෂෙරිංග්ගේ බිරිඳත් වෛද්‍යවරියකි. යුවළට දියණියෝ දෙදෙනක් වෙති. ඊට අමතරව තවත් දියණියක සහ පුතකු දරුකමට හදා ගන්නා බව ද පැවැසෙයි. අග්‍රාමාත්‍ය ලෙස රාජකාරි කරන ෂෙරිංග් දින දෙකක් වෛද්‍යවරයකු ලෙස ද සිය සේවය ජනතාවට ලබා දෙයි. 

Business Insider

Classified_Ad

Classified_Ad_News_Bottom