Main Logo

Wednesday 23 June 2021

ආණ්ඩුවක් පළවා හරිමු

 

ආණ්ඩුවක් පළවා හරිමු

 

රටක ආණ්ඩු කීයක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්. කවුරු හරි හිතනවා නම් එක්සත් ජනපදවල ඇත්තේ ජෝ බයිඩන්ගේ ආණ්ඩුව පමණක් ය කියා එය වරදවා වටහා ගැනීමක්. බයිඩන්ගේ ආණ්ඩුවට නිල ආණ්ඩුව කියා කියන්න පුළුවන්. ඒත් ඔත්තු සේවා සමහර විට නිල ආණ්ඩුවට නොදන්වා කටයුතු කරනවා. ඒවාත් සමහර විට  ක්‍රියා කරන ආණ්ඩු. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ද ආණ්ඩු තියෙනවා. එංගලන්තය ඉන්දියාව ආදී රටවලත් තත්වය එහෙමයි.

 

බටහිර රටක ආණ්ඩු කිහිපයක් තිබුණත් ඒ හැම ආණ්ඩුවට ම එක් පොදු ගුණයක් තියෙනවා. ඒ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය රැක ගැනීම. ඔත්තු සේවා ක්‍රියාත්මක වන්නේ ක්‍රිස්තියානි නූතනත්වය නැති කිරීමට නො වෙයි. කලකට ඉහත ක්‍රියාත්මක වූ ඊනියා පශ්චාත්නූතනවාදීන් වුණත් නූතනත්වය බිඳ දමන්න සූදානම් වුණේ නැහැ. ඔවුන්ට ප්‍රශ්නය වුණේ විසිවැනි සියවසේ නූතනත්වය දහසයවැනි එහෙමත් නැත්නම් දහඅටවැනි සියවසේ නූතනත්වය නො වීම.

 

මාක්ස්වාදීන් වුවත් ක්‍රියා කෙළේ නූතනත්වය බිඳ දැමීමට නො වෙයි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් ඊනියා විද්‍යාත්මක ව  සිතු ආකාරයට නූතනත්වය ඉදිරියට ගෙන යෑමට අසමත් ධනේෂ්වර ක්‍රමය බිඳ දැමීමයි. මාක්ස්වාදීන් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය වෙනුවට කතෝලික සාමූහිකත්වයක් වෙනුවෙන් නම් පෙනී හිටියා. කොයි කවුරුත් මොන මොන ආණ්ඩුත් විවිධ ක්‍රම මගින් එක ම අරමුණක් අභිලාෂයක් වෙනුවෙන් පෙනී සිටියා. 

 

බටහිර නොවන රටවල ඇත්තේ අංගවිකල නූතනත්වයක්. චීනයේ හා රුසියාවේත් එසේමයි. අද ලෝකයත් කඳවුරු දෙකකට බෙදීලා. එක ලෝකයක් එක්සත් ජනපද ප්‍රමුඛ බටහිර රටවල්. අනෙක් ලෝකයේ රුසියාව හා චීනය. දෙවැනි ලෝකය ඊනියා සමාජවාදී කියා හිතන්න එපා. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සියවැනි සංවත්සරය පසුගිය දා පැවැත්වුවා. එහෙත් එහි කොමියුනිස්ට් පක්‍ෂය මිය ගිහින් හුඟක් කල්. අද එය වෙළෙඳ භාණ්ඩ අඩු මිලට නිපදවා අපනයන කරන ප්‍රධාන රට. කලකට ඉහත ජපානයට ඒ තැන හිමි වුණා. සෙසු අංගවිකල නූතනත්ව රටවල් ලෝක දෙකෙන් එකක් සමග වඩා සමීප සම්බන්ධකම් පවත්වනවා. 

 

කලකට පෙර තිබුණු කඳවුරු වගේ නො වෙයි දැන් තියෙන කඳවුරු. එකල සෝවියට් දේශය බලවත්. අප ඊනියා නොබැඳි රටවල් වුණා. ඒත් අප ශ්‍රී ල නි ප ප්‍රමුඛ ආණ්ඩු තියෙන කාලවල සෝවියට් කඳවුරට වඩා බර වූවා. එ ජා ප ආණ්ඩු බටහිර කඳවුරට බර වුණා. ඉන්දියාව එකල සෝවියට් කඳවුරට වඩා හිතවත්. පකිස්ථානය බටහිර කඳවුරට හිතවත්. ඒත් අද තැන් මාරුවෙලා. ඉන්දියාව ඉන්නෙ බටහිර කඳවුරත් සමග. පකිස්ථානය වඩා බර අනෙක් කඳවුරට.

 

එ ජා ප ප්‍රමුඛ ආණ්ඩු හා ශ්‍රී ල නි ප (පොදු ජන පෙරමුණු) ප්‍රමුඛ ආණ්ඩු අතර මූලික වෙනස ඇත්තේ අප වඩා බර කුමන කඳවුරට ද යන්න මත. එය කාට වුවත් පැහැදිලියි. මේ පසු බිමේ අද මෙරට ආණ්ඩු කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. බටහිර රටවල ඒජන්තයන්ගේ ආණ්ඩුවක් මෙරට තියෙනවා. ඒ ආණ්ඩුව ගෝඨාභය ආණ්ඩුවත් එක්ක නිතර හැප්පෙනවා. බටහිරයන්ගෙ ආණ්ඩුව ලෝකයේ කොහේවත් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවනවා. මානව අයිතිවාසිකම් ගැන කියවනවා. බටහිර රටවල ඇති ඊනියා මානව අයිතිවාසිකම් ගැන අපට අවශ්‍ය තරම් උදාහරණ දෙන්න පුළුවන්. බටහිර රටවල මානව දයාව බලාගන්න පුළුවන් ඔවුන් අප වැනි රටවලට කොවිඩ් එන්නත දීමට දක්වන උනන්දුව ගැන සැලකිලිමත් වීමෙන් වුණත්. බොර දියේ මාළු බාමින් ඔවුන් ජීඑස්පී සහනය නැති කරන්න කටයුතු කරනවා. බටහිරයන් මේ බාධා ඇති කරන්නේ ගෝඨාභය ආණ්ඩුව පළවා හැර සජිත්ගේ හරි රනිල්ගේ හරි ඒ සියල්ලගේ ම හරි බටහිර ගැති ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමට.

 

මෙරට තවත් භයානක ආණ්ඩුවක් තියෙනවා. ඒ අතර මැදියන්ගේ ආණ්ඩුව. රසායනික පොහොර ගෙන්වීමට විරුද්ධ ව මෑතක දි ව්‍යාපාරයක් ඇරඹුණෙ රජරට වකුගඩු රෝගයත් සමග. අපි ආසනික් කතාව කිවුවා. බටහිර විද්‍යාවට කිසි දා පරිසරය රකින්න බැහැ. මා මේ ගැන බොහෝ දේ ලියා තියෙනවා. මේ රටේ ඉන්න ඊනියා විද්‍යාඥයන් කියන්නෙ බටහිර පොතක පතක තියෙන දේ පමණයි.

 

කිවුල් ජලය ආසනික් ග්ලයිෆොසේට් අතර සම්බන්ධය අපි දුුටුවා. කල් ගත වී හරි ගෝඨාභය ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම තහනම් කළා. ඒ සමග ම වෙළෙඳපොළේ පොහොර නැති වුණා. එතෙක් ගෙනැවිත් තිබූ පොහොරවලට මොකද වුණේ. ඔය පොහොර ආනයනය කරන තක්කඩි වෙළෙන්දන් මේ කන්නයට පොහොර ආනයනය කර තිබුණෙ නැද්ද? ඉතා පැහැදිලි ව ඔවුන් පොහොර හංගලා. පොහොර බෙදා දීම නැවතිලා. ගොවීන්ට ප්‍රශ්න ඇති කරලා. ජනතාව ආණ්ඩුව කෙරෙහි කළකිරවලා කොහොම හරි රසායනික පොහොර තව තවත් ගෙන්නලා රටවැසියන් වකුගඩු රෝගීන් සහ තවත් රෝගීන් බවට පත් කරන්න හදනවා.

 

පඬි නැට්ටන්ගේ ආණ්ඩුවකුත් තියෙනවා. එය එතරම් බලවත් නැහැ. ඔවුන් වැඩිපුර ඉන්නෙ විශ්වවිද්‍යාලවල හා සිවල් සමාජවල.  ඒත් ඔවුන් අඩු තරමෙන් විශ්වවිද්‍යාල පනතවත් කියවල නැහැ. විශ්වවිද්‍යාලයක උපකුලපති තනතුරට නිරදේශ කරන නම් තුනෙන් එකක්වත් පිළිගැනීමට ජනාධිපති බැඳිලා නැහැ. ඉංගිරිසියෙන් හරි සිංහලෙන් හරි පනත හොඳින් කියවන්න. ඒත් මේ පඬි නැට්ටන් ගැන එතරම් කරදර වෙන්න ඕන නැහැ. අර හාමුදුරු නමක් ජනාධිපති හිට්ලර් විය යුතුයි කිවුව ම ඒකෙන් කියන්නෙ මොකක් ද කියල තේරුම් ගන්න බැරුව බටහිරයන්ගෙ අවශ්‍යතාවට හිට්ලර්ගෙ ජීවන චරිතය ලියන්න ගත්ත මැට්ටන් තමයි පඬි නැට්ටන් අතර ඉන්නෙ. මට මතක හැටියට මෙරට ජර්මන් තානාපති කාර්යාලයත් හිට්ලර් ගැන මොනව ද කිවුව.

 

මා හිතන්නෙ ජනාධිපති තම බලතල පාවිච්චි නොකිරීම අද රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා. අතරමැදි ආණ්ඩුව පළවා හරින්න ඕන. ඔවුන් මෙරටට කර ඇති සේවය කුමක් ද? හංගගෙන ඉන්න රසායනික පොහොර බෙදන්නට වහාම පියවර ගන්න ඕන. රසායනික පොහොර වස වුණත් දේශීය පොහොර නිෂ්පාදනය කරන තෙක් ඒ යම් පමණින් හරි යොදා ගන්න වේවි. එය වෙන ම කතාවක්. බටහිර විද්‍යාඥයන් යැයි හිතා ඉන්න මෙරට පඬියන් කියන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. පසුගිය සියවස් හතරේ බටහිර විද්‍යාවේ ශේෂ පත්‍රය කුමක් ද? අපි ඒ ගැන පසුව කතා කරමු.

 

මේ කන්නයට ගොවීන්ට පොහොර දෙන්න වහා ම ක්‍රියත්මක වෙන්න ඕන. විවිධ නීති තියෙන්නෙ පොල් ගාන්න නො වෙයි. පොහොර බෙදීම හා ඒ සම්බන්ධ ක්‍රියාවලි අත්‍යවශ්‍ය සේවයක් කරන්න ඕන. තෙල් මිල වැඩි කිරීමේ දී සහන දෙන්න පුළුවන්. ගොවීන්ට ධීවරයන්ට කුපන මගින් කලින් මිලට යම් උපරිමයකට යටත් ව තෙල් ලබා දෙන්න පුළුවන්. භුමිතෙල් කලින් මිලට දෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවදය කියන්නෙ අතරමැදියන්ගෙ ඊනියා අයිතිවාසිකම් රැකලා ජනතාව අසහනයට පත් කරන එක නො වෙයි. අතරමැදියන්ගෙ ආණ්ඩුව පළවා හැරීමට නිල ආණ්ඩුවට සහාය දෙමු.