එංගලන්තය සහ ක්‍රොඒෂියාව ජයග්‍රහණ සමඟ මූලික වටය අවසන් කරයි

Euro 2020

129

ලොව පුරා පාපන්දු රසිකයින් කාර්යබහුල කරවමින් මේ දිනවල ක්‍රියාත්මක වන Euro 2020 පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග කිහිපයක් අද (23) උදෑසන නිමාව දුටුවා.

D කාණ්ඩය යටතේ පැවති එම තරගවලින් ස්කොට්ලන්තය පරාජය කරමින් ක්‍රොඑ්ෂියාවත්, චෙක් ජනරජය පරාජය කරමින් එංගලන්තයත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

Croatia v Scotland

ගෝල 3-1ක් ලෙස Glasgow හි Hampden Park ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු මේ තරගයෙන් ජයග්‍රහණය ලබා ගත්තේ ක්‍රොඒෂියාව විසිනුයි. 

තරගය ආරම්භ වී 17 වැනි මිනිත්තුවේ දී තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට ක්‍රොඒෂියා ක්‍රීඩක Nikola Vlasic සමත් වුනා. Ivan Perisic සිය හිසෙන් එල්ල කළ පහරක් සාර්ථකව Vlasic විසින් ගෝලය වෙත එල්ල කරන්නට සමත් වුනා.

එම ගෝලයත් සමඟින් තරගයේ පීඩනය ස්කොට්ලන්තයට හිමි වූ අතර ඔවුන් ප්‍රථම අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-1ක් ලෙස සමව පළමු අර්ධය නිමා කරන්නට සමත් වුනා. තරගයේ 42 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයේ අයිතිය ස්කොට්ලන්ත ක්‍රීඩක Callum McGregor සතු වුනා.

දෙවැනි අර්ධයේ දී ජයග්‍රහණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කණ්ඩායම් දෙකම නැවතත් පිටියට පිවිසි අතර දෙවැනි අර්ධය ආරම්භයෙන් පසු ගෝල 2-1ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට ක්‍රොඒෂියාව සමත් වුනා. Mateo Kovacicගේ සහයෝගයෙන් ක්‍රොඒෂියා ක්‍රීඩක Luka Modric විසින් මෙම ගෝලය ලබා ගත්තේ තරගයේ 62 වැනි මිනිත්තුවේ දී.  

එම ගෝලයෙන් මිනිත්තු 10කට පමණ පසු තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල 3-1ක් ලෙස තරගයේ පෙරමුණ දිනා ගන්නට ක්‍රොඒෂියාව සමත් වුනේ ප්‍රතිවාදීන්ට තරගය අවසානයේ දැඩි පීඩනයක් එල්ල කරමින්. 

තරගයේ 77 වැනි මිනිත්තුවේ දී ක්‍රොඒෂියානු ක්‍රීඩක Ivan Perisic විසින් එල්ල කළ පහරක් ගෝලයේ පහළ දකුණු පස කෙළවරෙන් දැල්ගත වුනේ නරඹන්නන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේයි. 

ඉන් අනතුරුව තරගය අවසන් වන තෙක් ලකුණු පුවරුවට ගෝල එකතු කරන්නට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ගෝල 3-1ක් ලෙස තරගය නිමා වුනේ ක්‍රොඒෂියාවට ජයග්‍රහණයේ සතුට සමරමින්.

අවසන් ලකුණු තත්වය: ක්‍රොඒෂියාව 3 – 1 ස්කොට්ලන්තය

ගෝල ලාභීන්:

  • ක්‍රොඒෂියාව: Nikola Vlasic 17’, Luka Modric 62’, Ivan Perisic 77’
  • ස්කොට්ලන්තය: Callum McGregor 42’

Czech Rep v England

එංගලන්තයේ සත්කාරකත්වයෙන් ලන්ඩන් නුවර Wembley ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයෙන් තියුණු සටනකට පසු ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය දිනා ගත්තේ එංගලන්තය විසිනුයි.

තරගයේ ජයග්‍රාහි එකම ගෝලය වාර්තා වුනේ තරගයේ 12 වැනි මිනිත්තුවේ දී. එංගලන්ත ක්‍රීඩක Raheem Sterling විසින් හිසින් එල්ල කළ පහරක් සාර්ථකව ගෝලය තුලට යොමු වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට නවත්වන්නට කිසිදු ඉඩක් නොමැතිවයි.

තරගය පුරාවට ගෝල රැස්කිරීමට ලැබුණු ආසන්නතම අවස්ථා කිහිපයක් සාර්ථකව ව්‍යර්ථ කරන්නට දෙපිලේම ගෝල රකින්නන් සමත් වූ අතර අවසානයේ තරගය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස සත්කාරකයින්ට ජයග්‍රහණය හිමිවෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 1 – 0 චෙක් ජනරජය

ගෝල ලාභීන්:

  • එංගලන්තය: Raheem Sterling 12’

තරගාවලියේ මූලික වටයේ අවසන් තරග 4 වන Sweden v Poland, Slovakia v Spain, Portugal v France සහ Germany v Hungary තරග මෙරට වේලාවෙන් අද (23) රාත්‍රියේ දී සහ හෙට (24) අලුයම පැවැත්වීමට නියමිතය. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<