T20 රජුන් මට්ටු කරන්නට ශ්‍රී ලංකාව සූදානම්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

168
Getty Images

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11ට ආරම්භ වෙනවා. 2016 වසරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තය සමඟ ඔවුන්ගේ රටේ දී විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙය වෙනවා.

2006 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 9ක් පවත්වා තිබෙනවා. ඒ අතරින් එංගලන්තය තරග 5ක් ජය ගන්නා විට, ශ්‍රී ලංකාව තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ නමුත් දෙරට අතර පවත්වා තිබෙන අවසන් විස්සයි විස්ස තරග තුනම ජයගෙන තිබෙන්නේ එංගලන්තයයි. ශ්‍රී ලංකාව 2014 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර අවසන් වරට එංගලන්තය පරාජය කළා.

එංගලන්තය අවසන් වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මාසයේ දී වන අතර ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වුණු එම තරගාවලියෙන් 3-2ක් ලෙස පරාජයට පත්වීමට එංගලන්තයට සිදු වුනා.

ශ්‍රී ලංකාව ද අවසන් වරට පසුගිය මාර්තු මාසයේ දී කොදෙව්වන් සමඟින් ඔවුන්ගේ දේශයේ දී තරග වැදුණු අතර එම තරගාවලියෙන් 2-1ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

තවත් ක්‍රිකට් පුවත්

මේ තරගාවලියේ දී වැඩි අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්

කුසල් පෙරේරා සහ Eoin Morgan

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නව නායක කුසල් පෙරේරා හා 34 හැවිරිදි එංගලන්ත කණ්ඩායම් නායක Eoin Morgan අත්දැකීම් බහුල සහ ප්‍රබල පිතිකරුවන් ලෙස හැඳින්වීමට පුළුවන්.

කුසල් පෙරේරා එංගලන්තය සමඟ තවමත් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග තුනක් වුවත්, ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවිය සලකා බැලීමේ දී තරග 47ක දී ලකුණු 1293ක් ලබාගෙන තිබෙන්නේ 28.10 දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

ශ්‍රී ලංකාව සමඟ එංගලන්තය ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස තරග 8ම Eoin Morgan ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහු ඉනිම් 8කට ක්‍රීඩා කරමින් එක් අර්ධ ශතකයක් ලබා ගෙන ඇත්තේ ලකුණු 201ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. 

ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 57 සිය වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන Morgan ශ්‍රී ලංකාවට එරෙහිව 33.50කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන තිබෙනවා. 

තවද ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ දැනට දෙවන වැඩිම ලකුණු ලාභී පිතිකරුවා වන Morgan ලකුණු 213ක් ලබාගෙන තිබෙන මහේල ජයවර්ධනට පමණක් දෙවැනි වෙනවා.

ඉසුරු උදාන හා Chris Jordan

විස්සයි විස්ස විශේෂඥයින් දෙදෙනෙක් වන ඉසුරු උදාන හා Chris Jordan මේ තරග තුනේ දී ඔවුන් සතු අත්දැකීම් සහ හැකියාවන් උපයෝගී කර ගනිමින් මේ තරගාවලියේ දී වැඩි දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කිරීමට පුළුවන්.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෑත කාලයේ බිහි වූ සාර්ථකම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඉසුරු උදානව හැඳින්වීමට හැකි අතර ඒ බව මේ වසරේ මෙතෙක් පවත්වා තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග දත්ත පිරික්සා බැලූ විට හොඳින්ම පෙනෙනවා. 

වමතින් මද වේගපන්දු යවන උදාන ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 30කට සහභාගී වෙමින් කඩුලු 24ක් දවාගෙන ඇත්තේ එංගලන්තය සමඟ එක් විස්සයි විස්ස තරගයක් පමණක් ක්‍රීඩා කරමිනි.

දකුණතින් මද වේගපන්දු යවන Jordan ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 60කට සහභාගී වෙමින් කඩුලු 70ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 5ක දී දවා ගත් කඩුලු 12ක් ද ඒ අතර තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල ලකුණු ඉනිම් 35ක දී ලකුණු 270ක් ලබා ගැනීමට Jordan සමත් වී තිබෙනවා.

එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ පසුපෙළ සවිමත් කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන උදාන හා Jordan පිතිකරුවන් ලෙස ද යම් පිබිදීමක් ඇති කිරීමට හැකි ක්‍රීඩකයින් වෙනවා.

දනුෂ්ක ගුණතිලක හා Jos Buttler

වමතින් පිත්ත හසුරුවන දනුෂ්ක ගුණතිලක හා දකුණතින් පිත්ත හසුරුවන පිතිකරුවෙක් වන ජෝස් බට්ලර් යන දෙදෙනාම ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙක් වෙනවා.

බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව 47.00ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන තිබෙනවා. ඔහු තරග 6ක දී ඉනිම් 6කට සහභාගි වෙමින් ලකුණු 188ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.

ගුණතිලක එංගලන්තය සමඟ එකම එක විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ඔහු ලකුණු 26ක් ලබාගෙන තිබෙනවා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ විස්සයි විස්ස ක්‍රිකට් තරග 27කට සහභාගී වී ලකුණු 542ක් ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතක 3ක් ද සමඟ ලකුණු 21කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

තවද පන්දු රැකීමෙන් ද යම් අකාරයක පීඩනයක් එල්ල කිරීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස ගුණතිලක හා බට්ලර් කැපී පෙනෙන ක්‍රීඩකයින් වෙනවා.

එංගලන්ත විස්සයි විස්ස සංචිතය: Eoin Morgan (නායක), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Liam Dawson, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood.  

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය: Kusal Janith  (නායක), Kusal Mendis, Avishka Fernando, Danushka Gunathilaka, Dhananjaya De Silva, Dasun Shanaka, Chamika Karunaratne, Ishan Jayaratne, Binura Fernando, Dhananjaya Lakshan, Lakshan Sandakan, Akila Dananjaya, Nuwan Pradeep, Oshada Fernando, Charith Asalanka, Pathum Nissanaka, Niroshan Dickwella, Wanindu Hasaranga, Ramesh Mendis, Isuru Udana, Dushmantha Chameera, Asitha Fernando, Shiran Fernando, Praveen Jayawickrema.

Cardiff හි Sophia Gardens තණතීරුව, කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණික තත්වය

පළමු සහ දෙවැනි විස්සයි විස්ස තරගය පැවැත්වෙන Sophia Gardens ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි විස්ස මතකයන් කිසිවක් නැහැ. එංගලන්තය මේ දක්වා මෙහි දී ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස තරග 6ම ජයගෙන තිබෙන අතර මෙහි දී අවසන් වරට විස්සයි විස්ස තරගයක් පැවැත්වී තිබෙන්නේ 2019 මැයි මස 5 වැනිදායි. 

මේ ක්‍රීඩාංගණයේ දී දැනට පවත්වා තිබෙන විස්සයි විස්ස තරගවල ප්‍රතිඵල සලකා බැලීමේ දී පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග දෙකක් ජයගෙන තිබෙන අතර අනෙක් තරග 4ම ජයගෙන තිබෙන්නේ දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම් වෙනවා.

Video – “තරගාවලියේ දී වෙනසක් කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා” – කුසල්

තරගය පැවැත්වෙන කාලය තුල  සෙල්සියස් අංශක 14ත් – 19ත් අතර උෂ්ණත්වයක් Cardiff නුවරින් අපේක්ෂා කිරීමට හැකි අතර මේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩකඩක ඉතාමත් අවම මට්ටමක තිබෙනවා. 

ප්‍රේක්ෂකයින් 5500කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගය සඳහා යම් යම් සීමාවන් කිහිපයකට යටත්ව සීමිත ප්‍රේක්ෂක ප්‍රමාණයක්  සහභාගී කරවීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සූදානමින් සිටිනවා.

තවද කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට දෙවනුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත. කොරෝනා වයිරසයේ ව්‍යාප්තියට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ දී තරග වදිනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙයයි.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය දෙස හා ශ්‍රේණිගත කිරීම් දෙස බැලූ විට එංගලන්තය  දැනට ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වෙන නිසා ඔවුන්ට වැඩි වාසි හිමි වෙනවා. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 227ක් ලබාගෙන අටවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එහි පෙරමුණේ සිටින්නේ ප්‍රසාද ලකුණු 277ක් සමඟයි.

නමුත් ඒ කිසිවක් මේ තරගය  සඳහා අදාළ වන්නේ නැත, තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කළොත් ඕනෑම තරගයක් ජයග්‍රහණය කිරීමට හැකිය. යම් ආකාරයකින් ශ්‍රී ලංකාව මේ තරගාවලිය ජයග්‍රහණය කළහොත් එංගලන්තය විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් පසුබසිනු ඇති අතර ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට යනු ඇත.

තරග කාලසටහන

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff හිදී
  • ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff හිදී
  • ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
  • ජුනි 29 – පළමු එක්දින තරගය – Durham හිදී
  • ජූලි 01 – දෙවැනි එක්දින තරගය – London හිදී
  • ජූලි 04 – තෙවැනි එක්දින තරගය – Bristol

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ පට ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටිනවා. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<