යුක්‍රේනය මුල්ම ජය ලබද්දී බෙල්ජියම සහ නෙදර්ලන්තය දෙවැනි වටයට

Euro 2020

150
Ukraine v North Macedonia, Denmark v Belgium, Netherlands v Austria

“Euro 2020” පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග තුනක් (C සහ B කාණ්ඩයේ) ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) රාත්‍රියේ සහ අද (18) උදෑසන පැවැත්වුනා.

එහි දී පිළිවෙළින් North Macedonia, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කරන්නට යුක්‍රේනය, බෙල්ජියම සහ නෙදර්ලන්ත ක්‍රීඩකයින්ට හැකි වුනා.

Ukraine v North Macedonia

රුමේනියාවේ Bucharest හී Arena Națională ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් North Macedonia ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගන්නට යුක්‍රේනයට හැකි වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ යුක්‍රේන ක්‍රීඩක Andriy Yarmolenko විසිනුයි. ඒ 29 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී ගෝල රාමුව ඉතා ආසන්නයට පැමිණි පන්දුවක් ගෝල රකින්නා සාර්ථකව මගහරිමින් ගෝලය වෙත යොමු කරමින්.

එම ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර තරගයේ 34 වැනි මිනිත්තුවේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ Yarmolenko විසින් ලබා දුන් පන්දුවක්, Roman Yaremchuk විසින් ගෝලයේ දකුණු කෙළවරින් දැල තුළට යොමු කළේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන දෙමින්.

එම ගෝලවලට පිළිතුරු වශයෙන් තරගයේ 39 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට North Macedonia ක්‍රීඩක Goran Pandev සමත්වූවත් ඔහු අනිසි ස්ථානයක සිටීම නිසා ගෝලය අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

අසාර්ථක පළමු අර්ධයකින් පසු North Macedonia නැවත තරගයට පිවිසීමට 57 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහර අවස්ථාව ලබා ගත් Ezgjan Alioski එල්ල කළ පහර, යුක්‍රේන ගෝල රකින්නා විසින් වළක්වන්නට සමත් වූ නමුත් එම වළක්වාලීමේ දී පෙරළා පැමිණි පන්දුව සාර්ථකව ගෝලයට එල්ල කරමින් සිය වරද නිවැරදි කරගැනීමට Alioskiට හැකි වුනා.

84 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් ලබා ගත් යුක්‍රේන ක්‍රීඩක Ruslan Malinovsky එල්ල කළ පහර අතිදක්ෂ ලෙස වළක්වන්නට North Macedonia ගෝල රකින්නා සමත් වූ නමුත් තරගයේ තවත් ගෝලයක් වාර්තා කිරීමට North Macedonia ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා යුක්‍රේනයට තරගයේ ජයග්‍රහණය හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: North Macedonia 01 – 02 යුක්‍රේනය 

ගෝල ලාභීන්:

  • යුක්‍රේනය: Andriy Yarmolenko 29’, Roman Yaremchuk 34’
  • North Macedonia: Ezgjan Alioski 57’

Denmark v Belgium

B කාණ්ඩයේ තරගයක් ලෙස ඩෙන්මාර්කයේ Copenhagen හී Parken ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට බෙල්ජියම් ක්‍රීඩකයන් සමත් වුනා.

තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ගෝලයේ වම් කෙළවරින් දැල තුළට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට ඩෙන්මාර්ක් ක්‍රීඩක Yussuf Poulsen සමත් වුනේ ප්‍රබල බෙල්ජියම් ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් තරග ආරම්භයේ දී ම එල්ල කරමින්.

එම අර්ධය තුළ දී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට බෙල්ජියම් ක්‍රීඩකයන්ට අවස්ථාවක් හිමිනොවූ නිසාවෙන් පළමු අර්ධය සත්කාරක ඩෙන්මාර්ක් කණ්ඩායමට වාසි ගෙන දෙමින් අවසන් වුනා.

තරගය සම්පූර්ණයෙන් වෙනතකට හරවමින් දෙවැනි අර්ධයේ ක්‍රීඩක ආදේශයක් ලෙස පිටියට පිවිසි බෙල්ජියම් ක්‍රීඩක Kevin De Bruyne විසින් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී ගෝල රකින්නා මුලා කරමින් යොමු කළ පන්දුවක් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට බෙල්ජියම් ක්‍රීඩක Thorgan Hazardට හැකි වුනා.

එම ගෝලයෙන් පසු කණ්ඩායමට අවශ්‍ය වූ ජයග්‍රාහී ගෝලය රැස්කිරීමට Kevin De Bruyne සමත් වුනේ තරගයේ 70 වැනි මිනිත්තුවේ දීයි. අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකින් පසු Eden Hazard විසින් ලබා දුන් පන්දුව දඬුවම් රාමුවේ ආරම්භක සීමාව අසල සිට පහරක් එල්ල කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල වෙත ඇතුළු කිරීමට ඔහු සමත් වුනේ ඩෙන්මාර්ක් ගෝල රකින්නාට නැවතීමට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකරමින්.

අවසන් ලකුණු තත්වය: ඩෙන්මාර්කය 01 – 02 බෙල්ජියම 

ගෝල ලාභීන්:

  • බෙල්ජියම: Thorgan Hazard 55’, Kevin De Bruyne 70’
  • ඩෙන්මාර්කය: Yussuf Poulsen 2’

Netherlands v Austria

C කාණ්ඩයේ තරගයක් ලෙස නෙදර්ලන්තයේ Johan Cruyff Arena ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අපරාජිකත්වය රැකගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුනා.

තරගයේ 11 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව ප්‍රතිවාදී ගෝල රකින්නා පසුකර ගෝලය වෙත එල්ල කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය වූ ආරම්භ ලබා දීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depay සමත් වූයේ සත්කාරකයන් තරගයේ පෙරමුණට ගෙන එමින්.

එම අර්ධයේ තවත් ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට ලැබූ නමුත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි වීම නිසා පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස නිමා වුනා.

පළමු අර්ධයේ ලද ආධිපත්‍ය දෙවැනි අර්ධය ආරම්භයේ සිටම රඳවා ගැනීමට සමත් වූ නෙදර්ලන්තය වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කළේ Donyell Malen විසිනුයි. ඒ තරගයේ 67 වැනි මිනිත්තුවේ දී Denzel Dumfries විසින් ප්‍රතිවාදී ගෝල රාමුව අසලට ගෙනවිත් ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝලයට යොමු කරමින්.

තරගය පුරාවට තරමක හොඳ පන්දු පාලනයක් ඔස්ට්‍රියානු ක්‍රීඩකයන්ගෙන් දැකගැනීමට හැකි වූවත් නෙදර්ලන්ත පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරු කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 ඔස්ට්‍රියාව  

ගෝල ලාභීන්:

  • නෙදර්ලන්තය: Memphis Depay 11’ (P), Donyell Malen 67’

තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (18) රාත්‍රියේ සහ හෙට (19) උදෑසන පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලූම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<