යුපුන් ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අවසානයටම ළං වෙයි

195

ලබන මාසයේ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිත 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා ප්‍රසාද ලකුණු මත තෝරාගන්නා ක්‍රීඩකයන් 56 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව ඇත.

එම ප්‍රසාද ලකුණු සටහනේ නවතම තොරතුරුවලට අනුව යුපුන් මේ වන විට ප්‍රසාද ලකුණු 1203ක් ලබා ගනිමින් 50 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී ඇත. ඔහු ප්‍රධාන ක්‍රීඩකයන් 56 ඇතුළට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙයයි.

නිමා වූ ඉතාලි ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දැක්වූ දස්කම් නිසාවෙන් යුපුන් හට මෙලෙස ඉදිරියට පැමිණීමට හැකිව ඇති අතර එම තරගාවලියට පෙර ඔහු ප්‍රසාද ලකුණු 1975ක් ලබා ගනිමින් පසු වූයේ 65 වැනි ස්ථානයෙයි.

ප්‍රසාද ලකුණු මත ක්‍රීඩකයන් 56 දෙනෙකුට ඔලිම්පික් වරම් හිමි වීමට නියමිතව ඇති අතර යුපුන් ප්‍රසාද ලකුණු සටහන මත තෝරාගන්නා අවසන් ක්‍රීඩකයා එනම් 56 වැනි ක්‍රීඩකයාට වඩා ප්‍රසාද ලකුණු 13ක් ඉදිරියෙන් සිටී.

එමෙන්ම අවසන් කාලසීමාවේ දී යුපුන් දැක්වූ දස්කම් නිසාවෙන් ලෝක ක්‍රීඩක වර්ගීකරණයේ පළමු ක්‍රීඩකයන් 50 අතරට පැමිණීමට ද සමත් ඇති ඔහු ප්‍රසාද ලකුණු 1203ක් ලබා ගනිමින් එම වර්ගීකරණයේ 48 වැනි ස්ථානයේ පසු වේ.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ඔලිම්පික් පරිසාධන කාලසීමාව අවසන් වීමට පෙර රන් කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලි නොපැවැත්වීම සහ ක්‍රීඩා තරගාවලි අඩු වීම නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ වෙනසක් සිදුව යුපුන්ගේ ඔලිම්පික් අසුන අහිමි වීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු ය.

කෙසේ නමුත් යුපුන් සෙනසුරාදා දින (19) ස්පාඤ්ඤයේ පැවැත්වෙන රිදී කාණ්ඩයේ තරගාවලියකට සහභාගි වීමට නියමිතව ඇති අතර එහි දී සාර්ථකව දස්කම් දැක්වීමට ඔහුට හැකිවුවහොත් දිගු කලකට පසු ශ්‍රී ලංකාවට කෙටිදුර ධාවනයේ ඔලිම්පික් අසුනක් තහවුරු කිරීමට ඔහුට හැකි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<