Main Logo

Monday 14 June 2021

රනිල් ගැට

 

රනිල් ගැට

 

ලංකාවේ ඉන්න උගතුන් වියතුන් බුද්ධිමතුන් එක්ක මට හැරෙන්නවත් බැහැ. බොහෝ දෙනා තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාගර කාරියවසම් හා උදය ගම්මන්පිළ අතර ඇතිව තියෙන චෝදනා ප්‍රතිචෝදනා දකින්නේ නාට්‍යයක් ලෙස. ඔවුන් කියන්නේ රෑට එක්ව හොරකමේ ගිහින් දවල්ට ජනතාව රවටන්න බැණ ගන්නවා කියා. ඒකත් එක තේරුම් ගැනීමක් තමයි. ඒත් මේ ඊනියා නාට්‍යයේ දෙපැත්තේ නළුවන් දිහා බැලුව ම එහෙම රඟදැක්වීමක් පෙනෙන්නේ නැහැ.

 

පහුගිය කාලයේ පොදුජන පෙරමුණු සංධාන දේශපාලනය ගැන හිතන විට විමල් බැසිල් අර්බුදය අමතක කරන්න බැහැ. ගම්මන්පිළගේ පිළ මොකක් ද කාරියවසම්ගේ වසම මොකක් ද කියා කල්පනා කරන විට ඔය නාට්‍ය කතාව පට්ට ම පට්ටපල් බොරුවක් බව තේරෙනවා. ලංකාවේ උගතුන් වියතුන් කතා හදනවාට වඩා පද හදනවා. කතාවක් නැත්නම් කතන්දරයක් හදා යම් සිද්ධි මාලාවක් තේරුම් ගන්නවාට වඩා සිද්ධියෙන් සිද්ධියට පද හැදීම තමයි උගතුන් කරන්නේ.  මට උගතුන් බුද්ධිමතුන් සමග තරගයට පද හදන්න බැහැ. පොදු ජන පෙරමුණු සංධානය පක්‍ෂයක් ලෙස දැන්වත් සංවිධානගත වෙනවා නම් හොඳයි.

 

මේ අතර විපක්‍ෂ අර්බුදයකුත් මෝරනවා. ඒ රනිලාගමනය සමග. රනිල් මෙතරම් කල් පාර්ලිමේන්තුවට නාවේ පාර්ලිමේන්තුවේ ඔහුට එතරම් බලයක් නොතිබුණු නිසා. ඔහු රතන හිමියන් වගේ ඒක පුද්ගල නායකයකු එහෙමත් නැත්නම් ඒකනායක කෙනකු නො වෙයි. ඔහු නායකත්වය දීම සඳහා යම් පිරිසක් සොයනවා. අද එය යම් පමණකට සාර්ථක වී ඇති බවක් පේනවා. රනිලාගමනය සිිදුවනු ඇත්තේ රනිල්ට අවශ්‍ය තරමේ පිරිසක් එකතු කර ගැනීමෙන් පසුවයි. සජිත් එයට බය බව අමුතුවෙන් කිව යුතු නැහැ.

 

රනිල් ඊයේ කියා තිබුණා ආණ්ඩුව ජීඑස්පී ලබා ගත්තේ නැත්නම් ඩොලරය රුපියල් තුන්සීයට නගීවි කියලා. ඩොලරය ගැන වෙනදා එවැනි අනාවැකි කිවුවේ බන්දුල ගුණවර්ධන. රුපියල බාල්දු වෙන එක නම් හොඳ නැහැ. රට දුප්පත්. අප එය එහෙම නොවේය කියන්න ඕන නැහැ. ඒ දුප්පත්කමට මූලික ව ම වග කියන්න ඕනෙ එ ජා පක්‍ෂයයි. වමේ වෘත්තීය සමිතිත් වග කියන්න ඕන. නිදහස ලැබෙන විට අපේ ඩොලර් සංචිතය කීය ද කියා මා දන්නේ නැහැ. දත්ත ගබඩාවකින් එය ලබා ගන්න පුළුවන්.

 

ඒ කාලෙ ස්ටර්ලිං පවුමක් (එංගලන්ත මුදල්) රුපියල් දහයයි. අපි පාසලේ ඉගෙන ගත්ත පැන්ස 12ක් ෂිලිං එකයි. ෂිලිං 20 පවුම් එකයි කියල. රුපියල් දහය විස්සෙන් බෙදුව ම එන්නෙ සත පනහයි. සත පනහට සිලිම කියල කිවුවෙ. සිලිං පහයි කිවුවෙ රුපියල් දෙකයි පනහට. සිලිං පහට තෝර මාළු රාත්තලක් ගන්න පුළුවන්කම තිබුණා.  1970 කාලෙ පවුමක් රුපියල් 13.50ට ටිකක් වැඩියි. ඒ කාලෙ විශ්වවිද්‍යාල සහකාර කථිකාර්යවරයකුගෙ දීමනා සහිත පඩිය රුපියල් 605යි. සහකාර කථිකාචාර්යවරුන්ට එංගලන්තෙ ගිහින් පශ්චාත් උපාධියක් ලබාගන්න වැටුප් සහිත නිවාඩු ලැබෙනවා. රුපියල් 605 පවුම්වලට හැරෙවුවම පවුම් 43යි සිලිම් 10ක් ද කොහෙද ලැබුණ. ඒ කාලෙ රජයේ ශිෂ්‍යත්වයත් පවුම් 43යි සිලිම් ගාණක්. ඒ මුදලින් එංගලන්තෙ ගිහින් ජීවත් වෙන්න පුළුවන්. සල්ලි ඉතුරු කරගෙන කාරයක් ගේන්නත් පුළුවන්කම තිබුණා. අද පවුමක් රුපියල් 288ක් විතර වෙනවා. අවුරුදු පනහකට පවුමට සාපේක්‍ෂ ව  රුපියල විසි ගුණයකින් විතර බාල්දු වෙලා. ඒ දවස්වල ඩොලර් කතා තිබුණෙ නැහැ. එකල එංගලන්ත පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් පවුම් 45ක් පමණ වුණා. මුදල ටිකක් අඩු වුණත් රජයේ ශිෂ්‍යත්වයට තමයි වටිනාකමක් තිබුණෙ. අද එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක්  පවුම් 1085ක් පමණ. අද දවසේ එය රුපියල්වලින් නම් ලක්‍ෂ තුනක් විතර වෙනවා. සහකාර කථිකාචාර්යවරයකුට එතරම් වැටුපක් ගෙවන්න කියා නොවෙයි මා කියන්නෙ.

 

ජීඑස්පී ඉවත් කර ගන්නෙ මූලික වශයෙන් ඊනියා මානව අයිතිවාසිකම් ලංකාව රකින්නෙ නැහැ කියන එක පදනම් කර ගෙන. මේ ඊනියා මූලික අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුල් කරගෙන. යුරෝපා හවුලට ඕන කරන්නෙ දෙමළ ජාතිවාදයට උඩගෙඩි දෙන්න. යහපාලන ආණ්ඩුව දෙමළ ජාතිවාදයට උඩගෙඩි දුන්න. දෙමළ ත්‍රස්තවාදීන් හුරතල් කළා. මංගල ගොබෙලස් තම බැරූරුම් අවමංගල මුහුණින් කියන්නෙ ඔවුන් ජෙනීවාහි කරන ලද පාවාදීම්. ඒ පාවාදීම් නිසා තමයි යහපාලනයට ජීඑස්පී ලුබුණෙ.

 

අවමංගල, රනිල් සහ තවත් අය මේ ආණ්ඩුවට කියන්නෙ රණවිරුවන් පාවාදීල දෙමළ ත්‍රස්තවාදය හුරතල් කරල ජීඑස්පී ලබාගන්න කියල. ඒ පාවාදීම් නොකළොත් යුරෝපා සංගමය ජීඑස්පී සහනය ලැබෙන්නෙ නැහැ. යුරෝපා සංගමය කරන්නෙ අන්තිම පහත් වැඩක්. ජීඑස්පී දෙන්න නම් රණවිරුවන් පාවා දෙන්න කියනවා. එහෙම නොකළොත් යුරෝපා සංගමයේ මෙරට නියෝජිතයන් අපට මතක් කර දෙනවා ඩොලරය රුපියල් තුන්සීයට නගීවි කියල.

 

මෙයින් පේන්නෙ රනිල් ජාතිය උගසට තියන බව. සජිත්ල හර්ෂ ද සිල්වා ආදීන් ඉන්නෙත් රනිල් එකක්. ඔවුන්ට ඇති ජාතිකත්වයක් නැහැ. යහපාලනය හා මේ ආණ්ඩුව අතර තියෙන ප්‍රධාන ම වෙනස ඇත්තේ බටහිර රටවල් සමග ඇති සම්බන්ධකම් පදනම් කරගෙන. රනිල් සජිත් අනුර කිරඇල්ල හර්ෂ චම්පක ආදීන් රණවිරුවන් බටහිරට හා දෙමළ ජාතිවාදයට පාවාදුන් අය. යුරෝපා සංගමය ඔවුන්ට ජීඑස්පී සහනය දුන්නා. අද බටහිරට අවශ්‍ය මේ ආණ්ඩුවට බාධා ඇති කර එමගින් ජනතාව අසීරුතාවට පත්කර රනිල්ලාට බලයට පැමිණීමට අවස්ථාව සලසා දීමයි. කොවිඩ් නිසා මෙරට අපනයන ඇනහිටලා. ආනයනවල  සීමාවක් තිබිය යුතුයි. එහෙත් පහුගිය වසරවල ප්‍රසාරණය වූ මධ්‍යම පංතියට අවශ්‍ය තව තවත් ආනයන. රට වහන්න කියා වැඩියෙන් කෑගහන්නේත් ඔවුන්. තවත් වහල අපනයන බිංදුවට බැස්සත් ඔවුන්ට අවශ්‍ය දේ ආනයනය කරන්න ඕන. ඒ සඳහා ජීඑස්පී හා වෙනත් සහන ඕන. රනිල් හා කල්ලිය ඒ හරහා බටහිරට හා දෙමළ ජාතිවාදයට රටත් ජාතියත් පාවා දීමට සූදානම්.