අරුණි ශපීරෝ‍ වෙතින්

ආණ්ඩු එකතු වී නියැළෙන දුස්සන්ධානය

Posted in Uncategorized by arunishapiro on ජූනි 11, 2021

මේ දිනවල G7 රටවල්, එනම් ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ජපානය සහ ඉතාලිය සමඟ යුරෝපා සංගමයේ නියෝජිතයන් ද එකතුව එම රටවල් අතර සමාගම් බදු මට්ටම් ගැන දුස්සන්ධානයක නියැළෙති. පෞද්ගලික සමාගම් අතර මිල ගණන් ගැන එවැනි සංවාදයක හෝඩුවාවක් හෝ දැනුනොත් ඒවායේ සේවය කරන අය සහ අයිතිකරුවන්ව දඟගෙයි දමන්නට හැකියාව නීතියෙන් ඇත.

ඒත් ආණ්ඩු අතර සිද්ධ වන්නට අර අඳින මෙවැනි දුස්සන්ධාන සංවාදයක් ගැන මෙතෙක් ඉතිහාසයේ සඳහන් නැත. මේ ගැන වාර්තා කිරීම අඩුවෙන් අහන්නට ලැබෙන අතර වෙනදා මෙන් ලෝක නායකයන්ගේ තීරණ ගැන විශ්ලේෂණ කරන අයත් (ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් හැරෙන්නට) යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනී යයි.

රටවල් අතර බදු මට්ටම් එක හා සමානවීම නිසා අලුත් ආයෝජනවලට ව්‍යාපාරිකයන් පසුබට වෙද්දී පාඩු අත්විඳින්නට සිද්ධ වෙන්නේ නම් මුළු මහත් ලෝක ජනතාවටමයි. අලුත් නිර්මාණයක් ලොවට ඉදිරිපත් කිරීම නිසා මහා ධනකුවේරයෙක් හිටිහැටියේ දකින්නට ලැබීම සියල්ලන්ටම පෙනෙන සාධකයයි. ඒත්, ඒ නිසාම මහත් රැකියා ගණනාවක් බිහිවීම බොහෝ අයට නොපෙනෙන කාරණයයි. ආණ්ඩු මැදිහත්වීම් වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන ඉදිරි අවුරුදු මහජනතාවට කිසිසේත්ම සුවපහසු කාලයක් උදා නොකරනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න