IPL අසාර්ථක වුනේ එන්නත ප්‍රතික්ෂේප කළ නිසාද?

252

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත ලබා දීමට තම ක්‍රිකට් ආයතනය උත්සාහ කළ ද ක්‍රීඩකයන් එය ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා. 

මේ පිළිබඳව Times of India පුවත්පත විශේෂ ප්‍රවෘත්තියක් සපයා තිබුනා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ වුනේ දැඩි සෞඛ්‍යාරක්ෂිත විදිවිධාන යටතේ ක්‍රියාත්මක වූ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුළයි. කෙසේවෙතත් තරගාවලියේ තරග 30ක් අවසානයේ දී ක්‍රීඩකයන් සහ නිලධාරින් කිහිපදෙනෙකුටම වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වුනා. 

තරගාවලිය අවලංගු වී මේ වන විට දින 12ක් ගතවී තිබුන ද ජෛව ආරක්‍ෂිත වටපිටාව අසාර්ථක වීමේ ප්‍රතිවිපාක ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් අත්විඳිමින් සිටිනවා. 

Sunrises Hyderabad කණ්ඩායමේ Wriddhiman Saha හට සිදුකළ දෙවන පරීක්ෂණයේ දීද ඔහුට තවමත් වෛරසය ආසාධනය වී ඇති බව පසුගියදා තහවුරු වුනා. Kolkata Kinght Riders කණ්ඩායම නියෝජනය කළ Prasidh Krishna මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය තහවුරු කළා. ඊට අමතරව වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වූ Chennai Super Kings පිතිකරණ පුහුණුකරු වන Mike Hussy සහ පන්දු යැවීමේ පුහුණුකරු L. Balaji පූර්ණ සුවය ලබා තිබෙනවා. Mike Hussy එළඹෙන ඉරිදා නැවත ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතයි. 

තරගාවලිය සහ ජෛව ආරක්‍ෂිත වටපිටාව අසාර්ථක වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දුර්වලතා ප්‍රධාන වශයෙන් බලපෑ බව ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තා කළා. ඉන්දියාව තුළ අවදානම් තත්ත්වයක් පැවති කාල වකවානුවක් තුළ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නොපවත්වා ඉන්දියාව තුළම පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය ගත් අත්තනෝමතික තීරණය එයට ප්‍රධාන හේතුව වූ බව ද ඔවුන් වාර්තා කළා. 

ඉන්දියාව තුළ දරුණු ලෙස වෛරසය පැතිරයාමට ආරම්භ වූ අවස්ථාවේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ක්‍රීඩකයන්ට මෙන්ම නිලධාරින්ට ද නිසි අවබෝධයක් නොතිබීම මෙම සිදුවීමට මූලික හේතුවක් වූ බව බොහෝදෙනාගේ මතය වී තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කෙසේවෙතත් තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් හට කොරෝනා එන්නත ලබාදීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කළ ද ක්‍රීඩකයන් එය ප්‍රතික්ෂේප කළ බව එම ආයතනයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු Times of India පුවත්පත වෙත පවසා තිබෙනවා. 

“ක්‍රීඩකයන් කැමති වුනේ නැහැ එන්නත ලබාගන්න. ඒක ඔවුන්ගේ වැරැද්දක් නෙමෙයි. ඔවුන් හරියට දැනගෙන හිටියේ නැහැ මේ තත්ත්වය ගැන.”  

එහිදී කණ්ඩායම් කිහිපයක් එන්නත ලබාගැනීම සඳහා තම ක්‍රීඩකයන් එකඟ කරවාගෙන තිබෙනවා. නමුත් බහුතර කණ්ඩායම් සංඛ්‍යාවක් ඒ සඳහා එකඟ වී නැහැ. මෙම එන්නතේ අතුරු ප්‍රතිඵල පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීම, ක්‍රීඩකයන් මෙලෙස එන්නත ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව වී තිබෙනවා. 

“ක්‍රීඩකයන් විශ්වාස කළා ඔවුන් ඉන්න ජෛව ආරක්‍ෂිත වටපිටාව තුළ ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ නිසා ඔවුන්ට එන්නත ලබාගන්න උවමනාවක් තිබුනේ නැහැ. කණ්ඩායම් හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට තල්ලුවක් ලබාදුන්නෙත් නැහැ. ඒත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහී ගියා.” 

කෙසේවෙතත් තරගාවලිය සඳහා සහභාගී වූ විදෙස් ක්‍රීඩකයන් රැසක් එන්නත ලබාගැනීමට කැමැත්ත පළකර තිබෙනවා. නමුත් ඔවුන්ට එන්නත ලබාදීම නීති විරෝධී බව පසුව අනාවරණය වී තිබුනා. 

“විදෙස් ක්‍රීඩකයන් සහ නිලධාරින් එන්නත ලබාගන්න කැමැත්ත පළකරලා තිබුනේ. ඒත් ඔවුන්ට එන්නත ලබාදෙන්න නීතිමය හැකියාවක් තිබුනේ නැහැ.” 

තරගාවලිය අතරතුර වෛරසය ආසාධනය වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර Prasidh Krishna සහ Wriddhiman Saha හට පමණක් තවමත් වෛරසය ආසාධනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනා එංගලන්ත සංචාරය සඳහා සහභාගී වීමට නියමිත බැවින් එළඹෙන මැයි 25 වනදා වන විට මුම්බායි වෙත පැමිණිය යුතු වෙනවා. එයට පෙර ඔවුන්ට PCR පරීක්ෂණ 3ක් සිදුකිරීමට නියමිත අතර එම පරීක්ෂණ තුනෙන්ම ඔවුන්ට වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු විය යුතු වෙනවා. 

Times of India ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<