HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හරිම පුදුමයි! මිනිස්සු වගේම සිනාසෙන සත්තු!

මෑත දී කළ පර්යේෂණයකින් ඇමරිකාවේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, මිනිස්සු වගේ ම ශබ්ද නගා සිනාසෙන සතුන් විශේෂ 65ක් සිටින බව. සතුන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීම සඳහා කළ වැඩසටහනකදියි, මේ බව හෙළි කර ගෙන සිටින්නේ. ඒ සතුන් අතර හයෙනාවන්, හරකුන්, ඉල්ලන්, නරින්, මුකටියන් හා සීල් සතුන් ආදිය සිටිනවා. 

විශේෂඥයන් විසින් සොයා ගෙන තියෙනවා අඩු තරමින් සතුන් 65 දෙනකුටවත් 
මිනිසාට මෙන් සිනා සිය හැකි බව. මෙහි එන සීල් ද එවැනි සිනහවක් නඟයි.

ලොස් ඇන්ජලීස්හී කැලි‍ෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥවරියක වූ සාෂා වින්ක්ලර් හා සන්නිවේදන පර්යේෂකයකු වූ මහාචාර්ය ග්‍රෙග් බ්‍රයන්ට් යන දෙදෙනා එක්ව නායකත්වය දෙමින් කළ අධ්‍යයනයකින් තමා මේ කරුණු හෙළි වී තියෙන්නේ. 

‘මේ අධ්‍යයන‍යෙන් හෙළිවුණා කාලයක් තිස්සේ පැවති විශ්වාසයක් වූ සිනහව මිනිසුන් අතර පමණක් භාවිත වුණු, අනෙක් සත්ව ප්‍රජාවන් නොදන්නා සංසිද්ධියක් යැයි යන අදහස වෙනස් බව. එය වසර කෝටි ගණනක් තිස්සේ යමහර සතුන් අතර පැවති දෙයක්.’ මහාචාර්ය ග්‍රෙග් බ්‍රයන්ට් කියනවා. 

මේ අධ්‍යයනයේ දී ඔවුන් දෙදෙනා ඉල්ලා සිටියා පටිගත කරන ලද හැම ආකාරයකම සතුන්ගේ කෑගැසීම්, හඬ නැඟීම් ලබා දෙන ලෙස. ඒවා රිද්මයානුකූලව හෝ තනි හඬගෑමක් හෝ කෙතරම් විවිධාකාරවලින් වුවද කම් නැති බවද ඔවුන් කියා සිටියා. ඒවා තමයි, ඔවුන්ගේ අධ්‍යයනයට ලබා ගත්තේ. ඒ හඬවල් අතරින් විනෝදයෙන්, සෙල්ලමෙන් හා සැහැල්ලුවෙන් නඟන හඬ සියල්ල වෙන් කර ගනු ලැබුවා. ඒ වගේ ම සත්වලෝකයේ ගොරහැඩි, සැර පරුෂ හඬත් ඇතැම් විටෙක සතුන් අතර හොඳ සබඳතාවලදීත් අසන්නට ලැබෙනවා. ඒ නිසා ඒවා තෝරා ගැනීම පරෙස්සමින් කළ යුතු වුණා. 

සුනඛයන් හා නරින් අතරද සිනහව දැකිය හැකි බැව් හෙළිවී තියෙනවා.

මේ කණ්ඩායම සතුන්ගේ සෑම චර්යාවක් හා හැසිරීමක් පිළිබඳවම විද්‍යාත්මක කරුණු රැස් කළා. එහිදී සතුන්ගේ සිරුරු බසත්, විවිධ ඉරියව් ආදියත් සැලකිල්ලට ගත්තා. නිදසුනක් වශයෙන් සුනඛයන්ගේ හිස නවා ආචාර කිරීම් වැනි ඉරියව් දක්වන්න පුලුවන්. 

‘අපිිි සිනාසෙන විට ඒ මගින් පණිවිඩයක් දෙනවා, සිදුවන්නේ අපි සතුටුවෙනවා ඔබත් අප හා සතුටු වෙන්න එක්වෙන්න කියන පණිවිඩය අනිත් අයට දීමයි.’ වින්ක්ලර් තියනවා. 

‘අපේ අධ්‍යයනයට එක් කර ගත් සමහර විශේෂඥ අදහස්වලට අනුව අපේ මේ ඉරියව් හා හඬගෑම්වලට සමාන ඒවා සතුන් අතරත් ඒ අයුරින් ම තියෙනවා. අනිත් අතට සිනහව අප විසින් වැඩි දියුණු කර ගත් එකක්.’ ඔහු තවදුරටත් කියනවා. 

හයෙනාවකු වාගේ සිනාසෙනවා (laughing like a hyena) යන 
ඉංග්‍රීසි යෙදුම බිහිවී ඇත්තේ සිනාසෙන්නාක් මෙන් බලන මේ බැල්ම නිසයි.

හයනාවන් (hyena) සතුට පළ කරන්නට මහ හඬින් සිනාසෙන, ප්‍රසන්න ශබ්ද නඟන ආකරය මිනිසුන්ට බොහෝ සේ සමාන බව හෙළිවුණා. එහි දී පුල්ලි සහිත හයෙනාවන් ඉරි හයෙනාවන්ට වඩා මිනිසුන්ට සමාන බැව් හෙළි වුණා. ඔවුන් ගොදුරක් අල්ලා ගත් පසු සතුටින් එය බුදින අතර, ඒ සත්ව කොටස් එකිනෙකාගෙන් ඩැහැ ගනිමින් සතුට පළ කෙරෙන විවිධ නඟන බැව් හෙළිවුණා. ඒත් හයෙනාවන් විනෝද වන විට කෙළින් ම සිනහ හඬ නගන්නේ නැහැ. හයෙනාවකු වාගේ සිනාසෙනවා (laughing like a hyena) යන ඉංග්‍රීසි යෙදුම බිහිවී ඇත්තේ සිනාසෙන්නාක් මෙන් බලන බැල්ම නිසයි. 

පර්යේෂණ කණ්ඩායම කියන්නේ ඔවුන් මෙහි වැඩි දිගුවක් ලෙස වනයේ දී සතුන් හැසිරෙන හැටිත් හඬගෑම් කරන අයුරුත් ගැන විමසන්නට බලාපොරොත්තු වන බවයි. ඒත් කටයුත්ත ඉතා අසීරු එකක් ලෙස ඔවුන් සලකනවා. විශේෂයෙන් ම අඩු හඬකින් කරන සන්නිවේදනයන් පටි ගත කිරීම අපහසු වෙනවා. 

මෙවැනි අධ්‍යයනකින් අපට සතුන්ගේ ප්‍රීතිමත් චර්යාවන් ගැන පමණක් නොව මිනිස් සිනහවේ හා ප්‍රීතිමත් චර්යාවන් කාලයක් තිස්සේ පරිණාමය වූ අන්දම ද හෙළිදරවු කර ගත හැකි වෙනවා. මෙවැනි අධ්‍යයනයන් සතුන් ගැන චැන ගන්නවාට වඩා මිනිසා ගැන අවබෝධ කර ගන්නට අපට ඉතා වැදගත් වෙනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. https://chat.whatsapp.com/FCR63ZO6AYu1SoI2X5rVMd

    ඔන්න සත්තු ගැන තියෙන වට්සැප් ගෘප් එකක්

    ReplyDelete