නවකයන්ට සංගාගෙන් පැසසුම්

305

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Rajasthan Royals කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් පිළිබඳව එහි ක්‍රිකට් කළමනාකරු කුමාර් සංගක්කාර පසුගිය දා අදහස් දක්වා සිටියා. 

එහි දී ඔහු විශේෂ අවධානයක් Chetan Sakariya වෙත යොමු කර තිබුණා. Sakariya පිළිබඳව අදහස් දක්වමින් කුමාර සංගක්කාර පවසා සිටියේ ඔහු තුළ ඇති කඩුලු ලබා ගැනීමේ හැකියාව පිළිබඳව පමණක් නොව තීරණාත්මක අවස්ථාවල දී ඔහුගේ පන්දු හැසිරවීම පිළිබඳව ද තමා මහත් සේ විස්මයට පත් වූ බවයි.

කණ්ඩායමට අවැසි මොහොත තුළ ඔහුට ලබා දුන් වගකීම් නිවැරදි ඉෂ්ට කිරීමට Sakariya සමත් වූ බවත් කුමාර් සංගක්කාර එහි දී පවසා සිටියා. නව පන්දුවෙන් මෙන්ම ඉනිමේ අවසන් පන්දුවාර තුළ ද ප්‍රබල දස්කම් දැක්වීමට Sakariya සමත් වූ බව කුමාර් සංගක්කාර සිහිපත් කළා. අවලංගු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ Chetan Sakariya තරග 7කට ක්‍රීඩා කළ අතර එහි දී ඔහු කඩුලු හතක් දවා ගැනීමට සමත් වුනා. මෙම තරග අතරින් ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් වුනේ ලකුණු 31කට කඩුලු තුනක් ලෙසයි. ඒ ඔහු ක්‍රීඩා කළ පළමු තරගයේ දි වීම විශේෂත්වයක්.

Rajasthan Royals විසින් මෙහෙයවූ සාකච්ඡාවක දී කුමාර් සංගක්කාර කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“Chetan Sakariya ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක්. මේ වසරේ ජනවාරි මාසයේ ඉඳන් ඔහු ඉතාමත් රළු කාලයකට මුහුණ දුන්නා. අපේ සෙනෙහස සහ ප්‍රාර්ථනා ඔහු එක්ක තියනවා. ඔහුගේ දක්ෂතාවය විදිහට මම දකින්නේ ඔහුගේ ආකල්ප සහ පීඩනය එල්ල කරන්න ඔහුට තියන හැකියාව. ඔහු කණ්ඩායමේ ඉන්න එක ලොකු වාසියක් විදිහට මම දකිනවා. කණ්ඩායමේ අනෙක් නවක ක්‍රීඩකයන් ගත්තම Anuj, Yash, Mahipal යන තුන්දෙනා ගැන මම ලොකු පැහැදීමකින් ඉන්නවා. Yasasviට ඔහුගේ දස්කම් පෙන්වන්න ලොකු අවස්ථාවක් හමුවුනා. ඒත් Anuj ක්‍රීඩා කරපු තරගය තුල ඔහුට පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් ඔහු පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් දැක්වුවා. ඒ වගේම Mahi ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම් කළා. ඔවුන් තිදෙනා ගැන මට ලොකු පැහැදීමක් තියනවා.”

“Riyan Parag ඉතාමත් සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඔහු Rajasthan Royals කණ්ඩායමට විතරක් නෙමෙයි ඉන්දීය කණ්ඩායමට අනාගතයේ දී විශාල සේවයක් කරාවි. ඔහුට ඉතාමත් ප්‍රබල හැකියාවක් තියනවා. ඒකට හොඳ අවධානයක් දීලා දියුණු කරන්න ඕනේ.”

“ඒ වගේම කණ්ඩායමේ හිටිය Kuldip Yadav සහ Akash Singh වමත් වේගපන්දු යවන්නන් දෙදෙනාත් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්. ඔවුන් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් කරනවා මම දැක්කා. ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න ලැබුණේ නැහැ. අපි තරගාවලිය පටන් ගත්ත දවසේ ඉඳලා ඔවුන්ගේ ලොකු දියුණුවක් මම දැක්කා. Mayank Markande, Chetan Sakariya වගේ ක්‍රීඩකයන් ඉතාමත් සුවිශේෂී ක්‍රීඩකයන් විදිහට මම දකිනවා” සංගක්කාර තවදුරටත් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

කොරෝනා අවදානම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කරන විට Rajasthan Royals තරග 7කට ක්‍රීඩා කර තිබුණා. එහි දී ඔවුන් තරග 3ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය ලබාගෙන සිටියා.

මේ වන විට තරගාවලිය නැවත ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති අතර ඒ පිළිබඳව සහ ඉදිරි සැලසුම් පිළිබඳව Rajasthan Royals කණ්ඩායමේ හිමිකරු වන Manoj Badale අදහස් දක්වා සිටියා.

“මම ඒ ගැන වැඩි යමක් දන්නේ නැහැ. මම දන්නේ ප්‍රේක්ෂකයන් දන්න ප්‍රමාණයම තමයි. අපි හැමෝම මාධ්‍ය වාර්තා ගැන අවධානයෙන් ඉන්නවා. මම හිතන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයට තියන ප්‍රධානම අභියෝගය තරගාවලිය පවත්වන්න ඉඩක් හොයාගන්න එක. ක්‍රීඩකයන්ට දැනටමත් කාර්‍යබහුල කාලයක් තියනවා තරග කාලසටහන ඉතාමත් කාර්‍යබහුල එකක්. විශේෂයෙන් කොරෝනා නිසා අවලංගු වුනු තරගාවලි නැවත පවත්වන නිසා. සෑම ක්‍රිකට් ආයතනයක්ම උත්සාහ කරනවා පුළුවන් තරම් තරගාවලි පවත්වන්න. මේක ලොකු අභියෝගයක් විදිහට මම දකිනවා.”

“ඉන්දීය ප්‍රේක්ෂකයන් ගොඩක් ආසාවෙන් ඉන්නවා තරගාවලියේ දෙවන අදියර බලන්න. මම හිතනවා තරගාවලිය ආරම්භ කරන්න අවස්ථාවක් තියනවා. අපිට යම් හැකියාවක් තියේවි එංගලන්තයේ දී හෝ මැද පෙරදිග රටක දී තරගාවලිය පවත්වන්න. ඒත් ඒක ලොකු අභියෝගයක් වේවි” Manoj Badale පවසා සිටියා.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<