T20 ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන ඉහළට

363

ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් පන්දුවාර විස්ස ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

නමුත් මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන්නේ කණ්ඩායම් 16ක් පමණක් වන අතර 2024 තරගාවලියේ සිට මෙම වෙනස්කම සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා. 

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලීන් හී මූලික වටයට කණ්ඩායම් 5 බැගින් යුත් කාණ්ඩ 4ක් ඇතුළත් වීමට බොහෝ ඉඩක් ඇත.

විස්සයි විස්ස ආකෘතිය ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ප්‍රවර්ධනයට වැදගත් තරග කාණ්ඩයක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කරමින් එය පිළිබඳව අවස්ථා ගණනක දී සාකච්ඡා කර ඇත. එමෙන්ම කාන්තා තරගාවලියේ දී තරග වදින කණ්ඩායම් ගණන වැඩි කරන බව ද ඔවුන් තහවුරු කර තිබුණා.

තවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම කණ්ඩායම් ගණන වැඩි කිරීමේ තීරණය සියලුම ආකෘතීන්ට එක් කිරීමට ද කටයුතු කරමින් ඇති අතර 2023 එක්දින ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන 10 සිට 14 දක්වා වැඩි කිරීම ද එයට උදාහරණයක්. 

එමෙන්ම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා ධනාත්මකව කටයුතු කිරීම මෙන්ම අන්තර් මහද්වීපික කුසලානය නැවතත් ආරම්භ කිරීම පිළිබඳව ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට ලක්ව ඇත.

එමෙන්ම එක්දින ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන ඉහළ නැංවීම ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ පියවරේ ආරම්භය විය හැකි අතර ඔවුන් පසුගිය ලෝක කුසලාන ත්‍රිත්වයේ දී කණ්ඩායම් ගණන 16 සිට 10 දක්වා අඩු කිරීමට ද කටයුතු කර තිබුණා. 

මෙම සියලු කරුණු පසුගිය දා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක රැස්වීමේ දී සාකච්ඡාවට ගෙන තිබූ අතර තවමත් මේ සඳහා නිල තීරණයක් ගෙන නොමැති වූවත් ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් බොහොමයකින් මෙම වැඩ පිළිවෙළෙහි ප්‍රතිලාභ පිළිබඳව අගය කර ඇත.

එමෙන්ම අතීතයේ පැවති මහද්වීපික කුසලානය මගින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොමැති සහකාර රටවල්වලට ඉහළ ප්‍රමිතියකින් යුත් පළමු පෙළ තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා තිබේ. 

කෙසේ නමුත් ඉදිරියේ දී නැවත ආරම්භ කිරීමට නියමිත එම තරගාවලිය සඳහා වෙනත් නමක් ආදේශ කිරීමට විශාල ඉඩක් පැවතියත්, එම තරගාවලිය තුළින් තවත් කණ්ඩායම් කිහිපයකට ටෙස්ට් වරම් ලබා ගැනීමට ද අවස්ථාවක් හිමි වීමට ඉඩ ඇත.

එමෙන්ම ඉදිරියේ දී ටෙස්ට් ක්‍රිකට් ආකෘතියේ දෙවැනි කාණ්ඩයක් හඳුන්වා දීමට ද වැඩි ඉඩක් පවතින නිසාවෙන් මෙම තරගාවලියේ දස්කම් දක්වන කණ්ඩායම් සඳහා එම තරග ආකෘතිය ක්‍රීඩා කිරීමට ද වැඩි අවස්ථාවක් හිමි වනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව 2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වීමට වැඩි ඉඩකඩක් පවතින අතර 2028 ඔලිම්පික් උළෙල සඳහා ද ලංසුවක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හැකියාවක් පවතී.

කෙසේ නමුත් තරගාවලියකට සම්බන්ධ වන කණ්ඩායම් ගණන සහ එයට භාවිතා කළ යුතු ක්‍රීඩාවේ ආකෘතීන් පිළිබඳව තවමත් කිසිදු නිල තීරණයක් ගෙන නොමැත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<