HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයේ විස්මිත නිල් පැහැති දීප්තිමත් දසුන් මැවුන හැටි!

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී වෙසෙන ඡායාරූප ශිල්පියකු වූ මැතිව් ඩේවිසන් (Matthew Davison) විස්මිත ඡායාරූප පෙළක් පසුගිය දා මාධ්‍යයට මුදා හැරියා. පසුගිය ඉරිදා (2021 මැයි 9 වැනිදා) සැඳෑ භාගයේ දී ඔහු ෆන්ගපරාඕවා (Whangaparāoa) අර්ධද්වීපයේ ටින්ඩෝල්ස් (Tindalls) මුහුදු වෙරළේ ඇවිදිමින් සිටිය දී තමයි, ඔහුට මේ අපූරු දසුන් දැක ගත හැකි වුයේ. 

නවසීලන්තයේ හිබිස්කස් වෙරළේ දීක්නට ලැබුණු නිල් පැහැ විද්යුත් දීප්තියක් 
සහිත ජෛව සන්දීප්තිය කැමරාවට හසු වූ අයුරු.

රාත්‍රි 9ට පමණ එක්වරම ඔහු දුටුවා මුහුදු ජලය මත දීප්තිමත් නිල් පැහැයක් දිස්වෙනවා. මේ ආලෝකය හැඳින්වෙන්නේ ජෛව සන්දීප්තිය (bioluminescent) කියායි. ඒ විස්මිත ආලෝකය මුහුදු ජලයට එක් කළේ එක්තරා ක්ෂුද්‍ර ජීවියකු විසින්. මේ චිත්තාකර්ෂණීය සංසිද්ධිය ඇති වන්නේ ඒ ක්ෂුද්‍ර ජීවීන් මුහුදු රැලි මගින් කැලඹීමට පත් වූ විටයි. අප දැක තියෙනවා කලාමැදිරියන්, රෑ බදුල්ලන් වැනි සතුන් දීප්තිමත් ආලෝකයක් නිකුත් කරනවා. ඒ වගේ දෙයක් තමයි, මෙතැනත් සිද්ධ වෙන්නේ. 

ජෛව සන්දීප්තිය පිළිබඳ දැකුම්කලු ස්ථානවලට ප්‍රසිද්ධ නවසීලන්තයේ වයිටමෝ (Waitomo) ග්ලෝවර්ම් ලෙන්වලට ගියා මට මතකයි. එතැන ඉන්නේ කීටයෙක්. කීට අවස්ථාවෙදී තමයි, ඒ දීප්තිමත් දසුන් අපට දැක ගත හැක්කේ. 

‘ඒ දර්ශනය විස්මිත එකක්. මං ඒ වෙලාවෙ සපත්තු දාල හිටියේ මගේ සපත්තු අඩියේ සලකුණු කිල් පැහැයෙන් දීප්තිමත් ම වැල්ලේ රැ‍ඳ‍ෙනු දුටු මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා! ඒ අවස්ථාවේ අඳුරේ පිහිනමින් සිටි මාළුන්ගේ වල්ගා පෙදෙසට ඒ දීප්තිමත් නිල් පැහැය වැටී තිබෙන අයුරුත් විස්මයජනකයි!’ මැතිව් ඩේවිසන් නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පතට කියා තියෙනවා. 

ඩේවිසන් තව මිතුරන් කීපදෙනකු සමග හවුලක් පිහිටුවාගෙන තියෙනවා, නවසීලන්තයේ හිබිස්කස් වෙරළ ආශ්‍රිතව ඇති වන ජෛව සන්දීප්ත සංසිද්ධි ගැන ගවේෂණය කරන්න. ඔවුන් ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නවා. මිතුරකු විසින් එවැන්නක් ගැන දැනුම් දුන් විගස ඔවුන් හැකි ඉක්මනින් එහි ගොස් ඒ දර්ශන කැමරාවට ගන්නවා. එවැනි අවස්ථාවක් තමා ඔහුට මෙවර උදා වී තියෙන්නේ. 

නවසීලන්තයේ ටින්ඩෝල්ස් වෙරළේදී මැතිව් ඩේවිසන් විසින් ‘බ්ලූ ගෝල්ඩ්’ නම් 
කෙරුණු ජෛව සන්දීප්ති සන්සිද්ධිය දුටු ස්ථානය.

‘මේ තරම් ලස්සනට දර්ශන ගත හැකි අවස්ථාවක් උදා වන්නේ විසිවතාවකට එකක් තමයි.’ ඔහු කියනවා. පසුගිය ඉරිදා ඔහු මේ ආරංචිය දැන ගත්තේ සමාජ මාධ්‍ය (social media) ඔස්සේ යි. ඔහු ජීවත් වූ මිෂන් බේහී සිට පැයක විතර ගමනකින් ඔහුට එහි ළඟාවීමට හැකි වුණා. නිසි වෙලාවට එහි යා ගත හැකි වූ නිසා ඔහුට ඒ රූ ගත කළ හැකි වුණා. ඔහු එහි යන විට 30ක පමණක් පිරිසක් එය නරඹමින් සිටියා. 

ඩේවිසන් ඇතුළු මිතුරන් විශ්වාස කරන්නේ මෙසේ ජෛව සන්දීප්තියට අදාළ සිද්ධීන් බහුලව දකින්නට ලැබෙන්නේ මේ හිබිස්කස් වෙරළෙහි පිහිටීමේ සුවිශේෂ හැඩය නිසා බවයි. මුහුදේ දී ඇල්ගේ සමග බැඳ‍ෙන මේ ක්ෂුද්‍රජීවී ගහණය සාගර ජලයේ උදමත්, සුළඟත් සමග වෙරළ දෙසට තල්ලු වී එනවා. මේ වෙරළ මේ සංසිද්ධියට ප්‍රසිද්ධ ඒ නිසයි. මෙහි දී ජෛව සන්දීප්ත සංසිද්ධියට හේතු වන්නේ සී ස්පාකල් නම් මයික්‍රොස්කෝපික ක්ෂුද්‍ර සමුද්‍රජීවියෙක්. 

වෙනත් තැන්වල ඇති වූ ජෛව සන්දීප්ති තත්වයන්

කැලිෆෝනියාවේ නිව්පෝට් වෙරළේ දී ජෛව සන්දීප්තියක් නිකුත් කළ ඇල්ගේ විශේෂයක් 
අසලින් පිහිනා යන ඩොල්පින් යුවලකගේ සිරුරු මතිනුත් ඒ දීප්තිය පරාවර්තනය වූ අයුරු.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ ජර්විස් බොක්කේ ප්ලාන්ටේෂන් තුඩුවේ දී කැමරාවට 
නැඟුණු ජෛව සන්දීප්තියක් නිකුත් කළ ඇල්ගේ විශේෂයක්.

සී ස්පාකල් (sea sparkle) කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ඒක සෛලික සමුද්‍රජීවියෙක්. ඒ ජීවියා සත්ව විද්‍යාත්මක හැඳින්වෙන්නේ නොක්ටිලුකා සින්ටිලියන්ස් (Noctiluca scintillans) හෝ මිලියාරිස් කියායි. මිලිමීටර් භාගයක් තරම් විෂ්කම්භයක් ඇති මේ ක්ෂුද්‍ර ජීවියාගේ සෛලයට සම්බන්ධව ඇති සියුම් කේශිකාවක් මගින්, ප්ලවාංග ආහාරයට ගෙනයි, ඌ ජීවත්වන්නේ. 

මේ ක්ෂුද්‍ර ජීවීන් එකට ඇලී සිටිමින් දිය රැලි මත පා වෙමින් ඉහල පහළ යමින් ජීවත් වෙනවා. මේ ක්ෂුද්‍ර ජීවීන් ලොව පුරා සාගරවල විසිරී සිටිනවා. මේ ක්ෂුද්‍ර ජීවීන් කොතරම් ප්‍රමාණයක් එකට ඒක රාශී වී සිටිනවාද යත් ඒ ජීවී ගහණ උඩු ගුවනේ චන්ද්‍රිකාවලටත් පෙනෙනවා. 

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ නොක්ටිලුකා සින්ටිලියන්ස් නම් 
ඒක සෛලික ක්ෂුද්‍ර ජීවියා අන්වීක්ෂයක් තුළින් පෙනෙන අයුරුයි.

පහත වීඩියෝවත් බලන්න 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments