දිමුත්ගේ ඔටුන්න හැලෙයි; නායකත්වය සහ උපනායකත්වය කුසල්ලාට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

205

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (12) නිල වශයෙන් මාධ්‍යට නිකුත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න එම වගකීමෙන් ඉවත් කර 30 හැවිරිදි ප්‍රහාරාත්මක වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙත කණ්ඩායමේ නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා. එසේම මේ කණ්ඩායමේ උප නායකත්වය ලැබී තිබෙන්නේ කුසල් මෙන්ඩිස් වෙතයි.

එසේම නව තේරීම් කමිටුව අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් වන දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් වැනි ක්‍රීඩකයින් මේ එක්දින සංචිතයට නම් නොකර ඒ වෙනුවට තරුණ දක්ෂ ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර තිබෙන්නේ 2023 එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙනයි. 

අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ආබාධයට පසුව එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය හරහා නැවතත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

ඊට අමතරව පසුගිය දා නිමා වූ දේශීය පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී තරග 6ක දී කඩුලු 14ක් දවා ගත් දකුණතින් වේගපන්දු යවන 28 හැවිරිදි ශිරාන් ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද මේ සංචිතය තුල සිටින නවක ක්‍රීඩකයින් වනවා. චාමික නිමාවූ දේශීය පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරග 5ක දී කඩුලු 14ක් දවා ගනිමින් දස්කම් පෙන්නුවා. 

ශ්‍රී ලංකා සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අෂේන් බන්ඩාර, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, චාමික කරුණරත්න, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත වන අතර මේ තරගාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් (පිරිමි) ක්‍රිකට් තරගාවලියක් වනවා.

ඒ නිසාවෙන් මේ තරගාවලිය තුල හැකි උපරිම දස්කම් පෙන්වා හැකි සෑම තරගයක්ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වන අතර එසේ නොවුනහොත් 2023 වසරේ දී පැවැත්වෙන ICC ලෝක ක්‍රිකට් කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනවා.

බංග්ලාදේශයේ සත්කාරකත්වය සහිතව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඩකා නුවර පිහිටි Sher-e-Bangladesh ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio Bubble) තුල කණ්ඩායම් දෙකම එක්දින තරගාවලියේ තරග 3ම ක්‍රීඩා කරන්නේ මේ ක්‍රීඩාංගණයේ දීමයි.

එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර් සංචිත පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

තරග කාලසටහන

මැයි 23 – පළමු එක්දින තරගය – ඩකා හිදී 

මැයි 25 – දෙවැනි එක්දින තරගය – ඩකා හිදී 

මැයි  28 – තෙවැනි එක්දින තරගය – ඩකා හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<