මාලිංග T20 ලෝක කුසලානය ක්‍රීඩා කරයි ද?

273

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ හමුවක් සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා. ඒ ඔහු සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයක් ක්‍රීඩා කළේ 2020 වසරේ මාර්තු මාසයේ දීයි. මේ වසරේ IPL තරගාවලියට පෙර ඔහු තමන් සියලුම ආකාරයේ ලීග් තරගාවලිවලින් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ලසිත් මාලිංග තවමත් තමන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට සමුදෙන බව පවසා නැහැ.

“මම ටෙස්ට් හා එක්දින තරගවලින් විශ්‍රාම ගත්තට තවමත් විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගත්තේ නැහැ. තේරීම් කමිටුව මා වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙන් ජාතික කණ්ඩායමට ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා මම බලන් ඉන්නවා. මගේ ක්‍රීඩා ජීවිතේ මම කිහිපවතාවක්ම ඔප්පු කරලා තියෙනවා මට ලොකු විරාමයකින් පසුව වුනත් මගේ රට වෙනුවෙන් හොඳින් දස්කම් දක්වන්න පුළුවන් කියලා” මාලිංග The Morning පුවත්පතට පවසා තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

“අපි ඉක්මනින්ම මාලිංගට කතා කරනවා. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සංචාරවලට අපි හදපු සැලසුමේ ඔහු ඉන්නවා. ඔක්තෝබර් වල තියෙන විස්සයි විස්ස ලෝක කුසලානයත් ඇතුළත්ව” ජාතික තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (7) The Morning පුවත්පත වෙත පවසා තිබුණා.

“අපි අමතක කරන්න හොඳ නැහැ ඔහු අපිට හිටිය විශිෂ්ටතම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් කියලා. ඔහුගේ වාර්තාවලින් ඒක පැහැදිලි වෙනවා. එක ළඟම විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් අපිට ක්‍රීඩා කරන තියෙනවා. මේ අවුරුද්දේ හා ලබන අවුරුද්දේ.”

“අපි ඉදිරි දවස් කිහිපය තුළ හමුවෙලා අපේ සැලසුම් ඔහුත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසා තිබුණා.

NewsWire ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<