ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියක් ජූලි මාසයේ දී

201

එළඹෙන ජූලි මාසයේ දී මෙරට පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන කිසිඳු ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් ආයතන ප්‍රධානී Saurav Ganguly පවසා සිටියා.  

ඒ අනුව ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන් වන Virat Kohli, Rohit Sharma මෙම තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ. එයට හේතුව වන්නේ ඉන්දීය කණ්ඩායම එංගලන්තය සමඟින් තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වීමයි.  

Saurav Ganguly සහභාගී වූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් මෙම එක්දින තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ සංයුතිය පිළිබඳව විමසා සිටියා. 

අපි ජ්‍යෙෂ්ට කණ්ඩායමට ශ්‍රී ලංකාව සමඟින් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කළා ජූලි මාසයේ දී. මේ තරගාවලිය සඳහා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා කණ්ඩායම වෙනස් කණ්ඩායමක් වේවි. PTI සමඟින් අදහස් දක්වමින් Saurav Ganguly පවසා සිටියා.  

ඉන්දීය කණ්ඩායමේ මෙම තරග සංචාරය සඳහා විස්සයි විස්ස තරග 5ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.  

ඉන්දීය කණ්ඩායම මාස 4ක දීර්ඝ සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතයි. ඉන් අනතුරුව අවලංගු කෙරුනු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙසු තරග පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටිනවා. මේ නිසා ඉන්දීය ජ්‍යෙෂ්ට කණ්ඩායමට තරමක් කාර්‍යබහුල කාලයක් උදාවී තිබෙනවා.
 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ද මෙම වසරේ අග භාගයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා ඉන්දීය ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් වන Shikhar Dhawan, Hardik Pandya, Bhuvneshwar Kumar, Deepak Chahar, Yuzvendra Chahal වැනි ක්‍රීඩකයන් විවේකීව සහ සූදානම්ව පවත්වා ගැනීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.  

ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් සූදානමින් තියාගන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙනවා. එංගලන්ත සංචාරයට එක්දින තරග ඇතුළත් නොවන නිසා ජූලි මාසයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා තරගාවලිය ලොකු උදව්වක් වේවි. ශ්‍රී ලංකා තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ පැහැදිලි කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා තිබුනා. 

ජූලි මාසයේ දී ඉන්දීය ජ්‍යෙෂ්ට කණ්ඩායමට තරග නැහැ. මේ නිසා ඔවුන් මූලික වශයෙන් ටෙස්ට් තරග වල පුහුණුවීම් වලට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා අපේ එක්දින ක්‍රීඩකයන් ශ්‍රී ලංකා තරගාවලියට සහභාගී වීම ගැටලුවක් නැහැ. ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතය තෝරාගන්නත් ඒක ලොකු උදව්වක් වේවි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ඉන්දීය තරුණ ක්‍රීඩකයන් රැසක් පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබුනා. Yuzvendra Chahal සහ Rahul Chahar යොදාගැනීම සහ Rahul Tewatiaගේ පන්දු යැවීමත් ඒ අතර වනවා. ඊට අමතරව ඉන්දීය ආරම්භක පිතිකරු ස්ථානය සඳහා Devdutt Padikkal යොදාගැනීමත් ශ්‍රී ලංකා තරගාවලිය අතරතුර සිදුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසා සිටියා. Shreyas Iyer ද මෙම තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. එමෙන්ම නවක ක්‍රීඩක Chetan Sakariya පිළිබඳව ද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මූලික අවධානය යොමුවී තිබෙනවා. 

මෙම තරගාවලිය පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ මෙතෙක් නම් කර නැහැ. 


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<