උෂාන් ජාතික වාර්තාවක් සමඟින් දකුණු ආසියාවේ අංක 1ට

266
Ushan Brakes High Jump National Record

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා එහි උස පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් තමන්ගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.

මේ දිනවල සිය ක්‍රීඩා දිවියේ ඉහළම රිද්මයේ පසුවන උෂාන් එම තරගාවලියේ දී මීටර් 2.30ක උසක් තරණය කරමින් බිඳ හෙළීමට සමත් වුනේ ඔහු විසින් මෙම වසරේ මාර්තු මාසයේ දී මීටර් 2.28ක දක්ෂතාවයක් දක්වමින් පිහිටවූ ජාතික වාර්තාවයි.

එමෙන්ම උෂාන් දැක්වූ දක්ෂතාවය දකුණු ආසියානු තලයේ ද කැපී පෙනෙන දස්කමක් වුනේ පිරිමි උස පැනීමේ ඉසව්ව මීටර් 2.30ක උසක් සාර්ථකව තරණය කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ඔහු වූ නිසයි.

එමෙන්ම ඔහුගේ මෙම දස්කම මෙම වසරේ දී ලෝක මලල ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයෙකු දැක්වූ තෙවැනි හොඳම දක්ෂතාවය සමකිරීමක් ලෙස ද සටහන් වුනා.

මෙම දස්කමත් සමඟින් උෂාන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට ද සුදුසුකම් ලබා ගැනීමට ආසන්න වූ අතර මෙවර ඔලිම්පික් උස පැනීමේ ඉසව්වේ පරිසාදන මට්ටම දැක්වෙන්නේ මීටර් 2.33ක් ලෙසයි.

තවත් ක්‍රීඩා පුවත්:

ටෙක්සාස් හී වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් පසුගිය පෙබරවාරි මාසයේ දී උස පැනීම ඉසව්වේ ගෘහස්ථ ජාතික වාර්තාව අලුත් කිරීමට ද සමත් වුනා (මීටර් 2.26). ඒ ඔහු විසින් ඊට මාසයකට පමණ පෙර මීටර් 2.25ක දස්කමක් දක්වමින් පිහිටවූ ජාතික වාර්තාව අභිබවා යමින්.

එමෙන්ම ඇමරිකානු ජවන/පිටිය සහ රට හරහා දිවීමේ පුහුණුකරුවන්ගේ සංගමය විසින් පිරිනමන දෙවැනි කාණ්ඩයේ ගෘහස්ථ පිටිය ක්‍රීඩකයා (Division II Indoor National Men’s Field Athlete of the Year) සම්මානය දිනා ගැනීමට ද ඔහු පසුගිය දා සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<