HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව වැඩිම නිවුන් දරුවන් බිහි කර ලෝක වාර්තාවක් - මාලි රටේ හලීමාගෙන්

බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ මවක් මොරොක්කෝවේ දී සාර්ථක ලෙස නව නිවුන් දරු උපතකට මුහුණ දී තියෙනවා. ලෝකයේම මෙවන් උපත් අති දුර්ලභයි. 25 හැවිරිදි හලිමා සිසේ (Halima Cissé) නම් මේ මව මාලි රාජ්‍යයේ අනුග්‍රහය ඇතිව එරට වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මාලී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඇය මොරො‍ක්කෝවට ගුවනින් ගෙන යනු ලැබුවේ ඒ සංකීර්ණ දරු උපත, එරට නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීම පිණිසයි. 

දරු ප්‍රසූතියෙන් පසු රෝහලේ දී වෛද්‍යවරුන්ට තුති පුද කළ හලීමා

හලිමා මෙසේ විශේෂ ප්‍රතිකාර සඳහා ගෙන ගියේ ඇය සත් නිවුන් දරු උපතකට මුහුණ දී ඇති බව ස්කෑන් පරීක්ෂණයකින් පෙනී ගිය නිසයි. කෙසේ නමුත් සිසේරියන් සැත්කම කරද්දී ඇගේ කුස තුළ දරුවන් 7 දෙනෙකු නොව 9 දෙනෙකු සිටින බව දුටු මොරො‍ක්කෝ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මවිතයට පත් වුණා. ඔවුන් ඉතා සීරුවෙන් ඒ දරුවන් ඉවතට ගත් අතර ඒ බව හලීමාට කී විට ඇයත් පුදුමයට පත් වුණා. ඒ නිවුන් දරු පොකුරට ගැහැනු ළමයින් 5කුත් පිරිමි ළමයින් 4කුත් අයත්. දරුවන් නව දෙනා ම හොඳ සනීපෙන් ඉන්නවා. 

‘මට හරිම සතුටුයි! මගේ බිරිඳ දරුවන් නව දෙනා හොඳ සුවයෙන් ඉන්නා බව දැන ගන්න ලැබුණාම’ දරුවන්ගේ පියා වූ ඇජුඩන්ට් කාදර් ආබි (Adjudant Kader Arby) මාලි රාජ්‍යයේ සිට බීබීසීයට කියා තිබෙනවා. ඔහුගේ බිරිඳ විතරයි, මාලි අගනුවර වූ බමාකෝ (Bamako) වල සිට කි.මී. 1611ක් ගුවනින් මොරොක්කෝ කරා රැගෙන ගියේ. ඔහු සිය වැඩිමහල් දියනිය සමග මාලිවල නතර වුණා. ඒත් නිතර ම බිරිඳ සමග දුරකතනයෙන් කතාබහ කළා. 

දරුවන් නව දෙනා නොමේරූ ළදරු ඒකකයේ දරුරක්නවල තබා තිබෙන අයුරු

‘දරුවන්ගේ අනාගතය ගැන බියක් නැද්දැ’යි ඇසූ විට ඔහු බීබීසීයට කියා ඇත්තේ, ‘මං ඒ ගැන වද වෙන්නේ නැහැ. දෙවියන් තමයි මේ දරුවන් අපට දුන්නේ. උන්වහන්සේම තමයි, ඔවුන් ගැන තීරණ ගන්නේ. ඒ ගැන උන්වහන්සේ තීන්දුවක් දේවි.’ නවදරු පියා කියනවා. 

මේ ගැන සුබ පතන බොහෝ අය ඔවුන් උපකාර කරන්න, සහය දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැන පියාටත් ලොකු දුවටත් සතුටුයි. ‘හැමෝම මට කතා කළා! මාලි බලධාරීන් හැම දෙනාම මට කතා කරලා සුබ පැතුවා. මම ඔවුන් ස්තුති කරනවා.... වෙන එකක් තියා අපේ ජනාධිපතිතුමාත් මට කතා කළා.’ ඔහු කියනවා. 

මාලි සෞඛ්‍ය ඇමති ෆැන්ටා සිබි මාලි හා මොරොක්කෝ සෞඛ්‍ය අංශවලට ස්තුතිය පළ කරනවා, සාර්ථකව දරුවන් නව දෙනා බිහි කිරීම ගැන. 

බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ 25 හැවිරිදි හලිමා සිසේ දරුවන්ගෙන් කොටසක් සමග

මොරොක්කෝවේ කැසබ්ලන්කාහි අයින් බෝජා රෝහලේ දී තමයි හලීමා මේ දරුවන් ප්‍රසූත කළේ. එහි අධ්‍යක්ෂ මහාචාර්ය යූසුෆ් අලෝවි (Youssef Alaoui) ‘මේ වගේ උපතක් අති දුර්ලභයි!’ කියා තවදුරටත් විස්තර කරමින්, ‘වෛද්‍යවරුන් 10 දෙනෙක් හා වෛද්‍ය සහායකයන් 25 දෙනක් මේ නොමේරූ දරුවන් නව දෙනා බිහි කිරීමේ කටයුත්තට දායක වුණා.’ කීවා. 

මේ දරුවන් බරෙන් ග්‍රෑම් 500 සිට කි.ග්‍රෑම් 1ක් දක්වා පරාසයකයි ඉන්නේ. ඒ නිසා නොමේරූ දරු රක්නවල මාස දෙක තුනක් ඔවුන්ට සිටින්නට සිදු වේවි. ‘මව හා දරුවන් හොඳ සනීපෙන් ඉන්නවා. වැඩි පරිස්සමට තව සති කීපයක් ඔවුන්ව අප රෝහලේ රඳවා ගන්නවා. ඉන්පසු ඇයට ඇගේ දරුවන් සමග මාලි රාජ්‍යයට ආපසු යා හැකියි.’ මහාචාර්ය යූසුෆ් අලෝවි කියනවා. 

මාලි අගනුවර වූ බමාකෝ නගරයේ රෝහලක සති දෙකක් ගත කළ හලීමාගේ තත්වය සලකා බලා මොරොක්කෝවට යවන්නට මාලි බලධාරීන් තීරණය කළ පසු මාර්තු 30 වැනිදා ඇය ගුවනින් ගෙන යනු ලැබුවා. එහි රෝහලට ඇතුළු කරන විට දරුවන් මවගේ කුස තුළ සති 25ක් කර තිබූ අතර ප්‍රසූතියට පෙර තවත් සති පහක් ඇය එහි රඳවා ගන්නට විශේෂඥයන් තීරණය කළේ දරුවන් කුස තුළ තවත් ශක්තිමත් වනතුරුයි. ඒ අනුව සති 30ක් වයස් වනතුරු මව‍‍ගේ කුස තුළ දරුවන් තබා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා. 

මේ වගේ ම තවත් නව නිවුන් දරු උපතක් බලාපොරොත්තුව ම‍ෙක්සිකානු මවක් මෙක්සිකෝවේ අගනුවර වූ මෙක්සිකෝ සිටි (Mexico City)වල ඉන්නවා. ඇය කාර්ලා වැනෙසා පේරෙස් (Karla Vanessa Perez). ලබන මැයි 20 වැනිදාට ඇය ගැහැනු ළමයින් හය දෙනෙකුත් පිරිමි ළමයින් තුන් දෙනෙකුත් බිහි කිරීමට බලාපොරොත්තුව ඉන්නවා. කාර්ලාට දැනටමත් තුන් නිවුන් දරුවන් ඉන්නවා. 

නව නිවුන් දරු උපත් හරිම දුර්ලභයි! මීට කලින් 1971 ජූනි 13 දා වාර්තා වුණා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයෙන් නව නිවුන් දරු උපතක්. ඒ මවගේ නම ජෙරල්ඩීන් (Geraldine) පියා ලෙනාඩ් බ්‍රොඩ්රික්. මැලේසියාවෙනුත් එවැනි දරු උපතක් ගැන 1999 දී වාර්තා වුණා. ඒත් දෙකේදිම එක දරුවකුවත් දින කීපයකට වඩා ජීවත් වුයේ නැහැ. 

එක ප්‍රසූතියක දී වැඩිම නිවුන් දරුවන් ගණනක්, අට නිවුන් දරුවන් බිහි කළ මව ලෙස 2009 දී ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් ව සිටින්නේ පිරිමි දරුවන් හයක් හා ගැහැනු දරුවන් දෙදෙනෙක් බිහි කළ කැලිෆෝනියාවේ නාඩියා සුලේමාන් වන අතර ඒ දරුවන් දැන් 12 හැවිරිදි වියේ සුවසේ පසු වෙනවා. ඒ වාර්තාව ඉදිරියේ දී හලිමා සිසේට හිමි වනු ඇති. 

නිවුන් දරුවන් ගැන ඔබේ දැනුමට මේ ටිකත් එකතු කර ගන්න! 

බහු දරු උපත් අතර බහුලව හමුවන්නේ නිවුන්නු (twins) යනුවෙන් හැඳින්වෙන යුගලයි. ඒ හැරෙන්නට තුන් නිවුන් දරුවන්ගේ පටන් අට නිවුන් දරුවන් දක්වා දරුවන් සාර්ථකව මෙලොව එළිය දුටු අවස්ථා වාර්තා වෙනවා. පස් නිවුන් දරු උපතක් සිදු වන්නේ උපත් 55,000,000කට වරක් බව සඳහන් වෙනවා. 

මිනිසා ගැන සලකන විට සාමාන්‍ය ගර්භණී කාලය සති 38ක්. ඒ එක් දරු උපතක් සඳහායි. නිවුන් දරුවන් ගණනවැඩි වෙත්ම ගර්භණී කාලය අඩුවෙනවා. දෙදෙනකුට සති 36ක්, තිදෙනකුට සති 32ක්, හතර දෙනකුට සති 30ක් ආදි වශයෙන් අඩු වෙනවා. 

නිවුන් දරුවන් හඳුන්වන ඉංග්‍රීසි නම් 

නිවුන්නු (twins) යනු එක විට උපදින දරු යුගලයක්. ඉන්පසු තුන්දෙනෙකු නම් තුන්නිවුන් (triplets), හතර දෙනෙකු නම් සිවුනිවුන් (quadruplets), පස් දෙනෙකු නම් පස්නිවුන් (quintuplets), හය දෙනකු නම් සයනිවුන් (sextuplets), හත් දෙනෙකු නම් සත්නිවුන් (septuplets), අට දෙනකු නම් අට නිවුන් (octuplets), නව දෙනෙකු නම් නව නිවුන් (nonuplets), දහ දෙනෙකු නම් දස නිවුන් (decuplets) ආදී වශයෙන් හැඳින්විය හැකියි. 

නිවුන් දරුවන් 69ක් බිහි කළ මවක්! 

ලෝක නිල වාර්තා අතර එක මවක් බිහි කළ වැඩි ම නිවුන් දරුවන් ගණන 69ක්! ඇය රුසියාවේ ෂූයාහි ගෙවිලියක්. ඇය ෆියඩෝර් වැසිලියේෆ් (b. 1707–c.1782)ගේ බිරිඳ ලෙසයි, හැඳින්වෙන්නේ. ඇය මේ දරුවන් බිහිකර ඇත්තේ ගැබ් ගැනීම් 27කදීයි. ඒ දරුවන් අතරට 16 වතාවක් නිවුන්නුද (twins), හත්වතාවක් තුන්නිවුන් (triplets) දරුවන් ද, හතර වතාවක් සිවුනිවුන් (quadruplets) දරුවන් ද බිහි කොට තියෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments