ටියුෂන් නම් වලිගය පාසල නම් බල්ලා වනන හැටි

 

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-05-07

අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ඇවිත්. හොඳින් සමත් වූ දරුවන්ට අයිතිවාසිකම් කියන්නට ටියුෂන් ගුරුවරුන් එමටයි. එහෙත්, ඇත්ත කතාව නම්, ටියුෂන් පන්තිවලට පැමිණි සිසුන්ගෙන් අති බහුතරයට විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇති බවයි. විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ පමණින් සිසුවකුට සරසවි වරම් ලැබෙන්නේ නැහැ.

ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට තිබෙනවා. එය නිදහස් අධ්‍යාපනය නමින් හැඳින්වෙනවා. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිසයි. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදීම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල්.

එතනින් ආරම්භ වන විෂමතාව අවසන් වන්නේ නොමිළේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද එකී ඇති හැකි පිරිස විසින් ම ඩැහැ ගනිමින්. වෛද්‍ය, ඉංජිනේරු වැනි ඉහළ ඉල්ලුමක් තිබෙන පාඨමාලාවලට තේරෙන සිසුන් අයත් වන පාසල් ගැන අධ්‍යයනයක් කළොත් තත්වය පැහැදිලි වෙනවා. මොකක් හෝ ආකාරයකින් ප්‍රධාන පෙළේ පාසලක් හිමිකරගන්නට බැරිවුණොත් මෙම පාඨමාලාවලට තේරෙන එක බොරු.

ලංකාවේ අධ්‍යාපනයේ පවත්නා අසාධාරණය ඉහත කී විෂමතාවයි. ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ කෘරතම ප්‍රකාශනය වන්නේ ටියුෂන් ජාවාරමයි. ටියුෂන් ජාවාරමට අවකාශය විවෘත කර දෙන්නේ ඉහත කී අධ්‍යාපන විෂමතාවයි. එය සිදු වන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකියි.

සීමිත වරප්‍රසාදිත පිරිසකට පමණක් ලබා දෙන උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා ගැනීම සඳහා පොරකෑම ආරම්භ වන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන අවස්ථාවෙදිමයි. එහිදී හොඳම පාසල් ටික හිමි කර ගන්නා දරුවන්ට ඉදිරි අවස්ථා පහසුවෙන් හිමි කර ගත හැකියි. එතනින් ගිලිහී යන පිරිස එම අවස්ථාව ලබාගැනීම වෙනුවෙන් මාරාන්තික සටනක් කළ යුතුයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එහි තීරණාත්මක කඩඉමක්. එයිනුත් මගහැරෙන දරුවන්ගේ තත්වය තවත් භයානකයි. සාමාන්‍ය පෙළට A සාමාර්ථ නවයක් ලබාගන්නට හැකි සුළු පිරිසකට නැවතත් හොඳ පාසලකට පිවිසීමේ අවස්ථාවක් සඳහා උත්සාහ කළ හැකියි. එය ද අහිමි වුවහොත් සොරි ම තමා.

අව වරප්‍රසාදිත දරුවන්ගේ පාසල්වලින් යම් දුරකට හෝ විශ්වවිද්‍යාලවලට සිසුන් තේරෙන්නේ කලා විෂය ධාරාවෙන් පමණයි. අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වන මෙම කෘර තරගකාරිත්වය හේතුවෙන් සිදු වී තිබෙන්නේ පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙළඳපොළකරණයක් සිදු වීමයි. ලංකාවේ පාසල් අධ්‍යාපනය හිර වී තිබෙන්නේ මෙවැනි ටියුෂන් වෙළඳපොළක මිස බොහෝ අය කියන ආකාරයේ ඊනියා නව ලිබරල්වාදයක නොවෙයි.

ලංකාවේ පාසල් පෞද්ගලීකරණයක් සිදුවන්නේ නැහැ. පාසල් වැසී යනවා. එයට හේතුව, අධ්‍යාපන විෂමතා මිස අමුතු කුමන්ත්‍රණයක් නෙමෙයි. වැසෙන්නේ දරුවන් නැති පාසල්. ජාත්‍යන්තර පාසල් නමින් පවත්වාගෙන යන ඊනියා අධ්‍යාපනික සමාගම්වලට රජයේ ප්‍රධාන පෙළේ පාසල් සමග තරග කිරීමේ හැකියාව නැහැ. ඔවුන් පැවැත්ම තහවුරු කරගෙන තිබෙන්නේ විදේශ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ විභාගවලට මුහුණදෙන, ඇති හැකි පන්තියේ, අලුත සල්ලි හම්බ කරගත් එතරම් තේරුමක් නැති සමාජ තීරයේ හා හොඳ පාසලක් සොයාගත නොහැකි වීම නිසා ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරන මව්පියන්ගේ දරුවන්ට සේවා සැපයීමෙන්. එම පාසල්වල අධ්‍යාපන ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා.

අධ්‍යාපන වෙළඳපොළකරණය පාසල් අධ්‍යාපනය ද ඉහවහා පැතිර ගොස් තිබෙනවා. ඇත්ත ම කියනවා නම් මේ වන විට පාසල් අධ්‍යාපනය යනු ටියුෂන්වල උණ්ඩුක පුච්ඡයක්. පාසල වෙළඳපොළකරණයට හසු වන හැටි ඉතා සියුම්. මේ වන විට පාසල් ගුරුවරුන්ගෙන් බහුතරය කුමන හෝ අන්දමකින් ටියුෂන් කරනවා. එම ටියුෂන් පන්ති තනි පුද්ගල පන්ති, කුඩා කණ්ඩායම්, ගෙවල්වල ගරාජ්වල හා අතු මඩුවල කරන පන්ති හා කඩවල උඩ තට්ටුවල කරන පන්ති ආදී වශයෙන් විවිධයි. මෙම ටියුෂන් පන්ති කරන ගුරුවරුන් තමන් උගන්වන පාසලේ සිසුන් පන්තියට ආකර්ශනය කරගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදනවා. ඇතැම් උපායන් ආචාරධර්ම විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස ද සැලකිය හැකියි. දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා.  අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්. 

එහෙත්, දැවැන්ත ටියුෂන් මුදලාලිලා යනු පාසල් අධ්‍යාපනයෙන් බාහිර පිරිසක්. ඔවුන් අධ්‍යාපනඥයන් ලෙස සැලකිය හැකි අය නො වුණ ද, අධ්‍යාපන ක්ෂේත්‍රයට දැවැන්ත දෘෂ්ටිවාදීමය බලපෑමක් කිරීමේ ආර්ථික බලයක් ඔවුන් සතුව තිබේ. ඔවුන් උගන්වන ක්‍රමය අධ්‍යාපන මනෝවිද්‍යාව, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය, ක්‍රියාකාරකම් තුළින් ඉගෙනීම වැනි නූතන අධ්‍යාපනික සංකල්පවලට අදාළ නැහැ. ටියුෂන් ගුරුවරුන් වැඩිපුර සමාන වන්නේ ආගමික දේශනාකරුවන්ට හා සුවකරන්නන්ටයි. කෙසේ වෙතත්, ඔවුන්ට අධ්‍යාපනයේ සීමිත අවස්ථා ලබාගැනීමට මග සිසුන්ට ලබාදීමේ හැකියාව තිබෙන බවට සමාජයේ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ටියුෂන් ගුරුවරුන්ගේ සමස්ත සාමූහික ප්‍රචාරක සැලැස්මම මෙම විශ්වාසය නැවත නැවත තහවුරු කිරීම අරමුණු කරගෙන පවතින දෙයක්.

ඇතැම් ටියුෂන් ගුරුවරුන් විභාග ප්‍රශ්න සිය පංතිවල සාකච්ඡා කර ඇති බව 2010 වන විට විභාග කොමසාරිස් ධුරය දැරූ අනුර එදිරිසිංහ උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය උත්තර පත්‍ර ඇගයීම් ප්‍රධානීන් වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති රැස්වීමකදී පැවසූ බව ලංකා ගුරු සංගමය පැවසුවේ 2010 සැප්තැම්බරය තරම් ඈත කාලයකයි. ඉලක්ක ප්‍රශ්නවලට පිළිතුරු සිසුන්ට ඉගැන්වීම ටියුෂන් අධ්‍යාපනයේ ප්‍රධාන උපක්‍රමයක්. විභාග ප්‍රශ්න පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ටියුෂන් ගුරුවරුන් විශාල මුදලක් වැය කරනවා විය හැකියි.

ටියුෂන් මූලික අධ්‍යාපන මනෝභාවය අතිශය පසුගාමී, සමාජය මුග්ධභාවයට ඇද දමන එකක්. එහෙත්, පවත්නා දැඩි අධ්‍යාපන තරගකාරිත්වය හේතුවෙන් එයින් ගැලවී සිටීම අතිශය දුෂ්කරයි. විකල්ප අදහස් ඉදිරිපත් කරන චින්තකයන්ට පවා තමන් එරී සිටින ගොහොරුව තේරුම් ගත නොහැකි වීම බරපතල තත්වයක්.

මේ ලිපිත් කියවන්න:

අධ්‍යාපනය පෞද්ගලීකරණය දිරිගන්වන නවක වධය

රාජකීය මන්ත්‍රීවරු ගැන කතා හා අධ්‍යාපන විෂමතා සඳහා විසඳුම

ඡයාරූපය ft.lk වෙතිනි

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා