මහේල ජයවර්ධන මාලදිවයිනේ නිරෝධායනයට!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

233

ක්‍රීඩකයින් ඇතුළු කාර්‍යමණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකු හටම COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව සනාථ වීමත් සමඟම පසුගිය සති කිහිපය පුරාවටම ක්‍රියාත්මක වෙමින් තිබූ IPL 2021 තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට BCCIය පියවර ගනු ලැබුවේ සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරී තිබුණු නිසාවෙනි.

ඒ අනුව Mumbai Indians කළමනාකාරිත්වය මෙවර තරගාවලිය සඳහා සහභාගී වූ තම විදෙස් ක්‍රීඩකයින් ඇතුළු කාර්‍ය මණ්ඩල නිලධාරීන් පිරිස යලි ආරක්ෂිතව ඔවුන්ගේ මව්රටවල් බලා පිටත් කර හැරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරිපත්කොට තිබෙන්නේ මේ වන විට පනවා ඇති ගුවන් ගමන් වාරණයන් ආදී කරුණු රැසක් සැලකිල්ලට ගනිමිනි.

ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරි දින 14ක කාලසීමාවක් සඳහා ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතව තිබූ සියලුම මගී ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණේ රෝග වාහකයින් එරටට ඇතුළු වීමට ඇති අවස්ථාව අවම කිරීමේ අරමුණෙනි.

මෙම හේතුව නිසාවෙන් MI කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයින් මෙන්ම කාර්‍ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනාම විශේෂ ගුවන් යානයක් මඟින් මාලදිවයින වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනයකොට තිබෙන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හොඹවන මහේල ජයවර්ධන ද මෙරටට පැමිණීමට ප්‍රථමයෙන් මාලදිවයිනේ දී තම නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමට නියමිත බව වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත් :

නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ කොදෙව් දේශයන්ගෙන් පැමිණි සෙසු විදෙස් ක්‍රීඩකයින් හට ද සෘජු ගුවන් ගමන් වාර ඔස්සේ සිය මව්රටවල් බලා පිටත්ව යා හැකි විශේෂ ක්‍රමවේදයක් දැනටමත් සකස්කොට අවසන් ඇති බව MI කළමනාකාරිත්වය දන්වා සිටියි.

“ඉන්දීය ක්‍රීඩකයින් සියලු දෙනාම වගේ ඔවුන්ගේ ගම්බිම් කරා පිටත්ව ගිහින් තියෙන්නේ. අපි මේ හැමදෙයක්ම සූදානම් කරේ කෝවිඩ් නීති මාලවන්ට අනුගත වෙමිනුයි. Mumbai සහ Ahmedabad නගරවල ඉන්න ක්‍රීඩකයින්ට ආපසු ඔවුන්ගේ නිවෙස්වලට යන්න අවශ්‍ය පසුබිම මේ වෙනකොට සකස් කරලයි තියෙන්නේ. ඒ ගුවන් වාර සඳහා නම් කරපු කාර්‍ය මණ්ඩල නිලධාරීන් දින 7ක නිරෝධායන කාලසීමාව දැන් සම්පූර්ණ කරලයි තියෙන්නේ.” 

“අපි ගන්න සෑම තීරණයක්ම පිළිබඳවම BCCIය දැනුවත් කරන එක අපේ යුතුකමක්. ඉතින් වගකිව යුතු කළමනාකාරිත්වයක් විදියට අපේ ක්‍රීඩකයින් ඇතුළු කාර්‍ය මණ්ඩල නිලධාරීන් සියලු දෙනාම ඔවුන්ගේ නිවෙස්වලට ආරක්ෂිතව යන තෙක් Delhiවල රැඳිලා අපි තීරණය කළා” යනුවෙන් Twitter සටහනක් එක් කරමින් වත්මන් තත්වය සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කිරීමට MI කළමනාකාරිත්වය කටයුතුකොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<