ඉතිරි IPL තරග ලංකාවේ පවත්වන්න යෝජනාවක්!

182

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙසු තරග මෙරට පැවැත්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ලොව ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමඟ අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළා. ඒ තරගාවලිය සඳහා සහභාගී වූ කීපදෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට කොරෝනා අවදානමක් එල්ල වූයේ පසුගිය සඳුදායි. එහි දී Kolkata Kinght Riders නියෝජනය කළ Sandeep Warrier සහ Varun Chakravarthy හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. 

ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබූ Kolkata Kinght Riders සහ Royal Challengers Bangalore අතර තරගය ද කල්දැමුණා. ඉන් අනතුරුව Chennai Super Kings හි නිලධාරීන් තිදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. එයට L. Balaji සහ David Hussy ද ඇතුළත් වුනා. 

තත්ත්වය එසේ තිබිය දී තරගාවලිය අවලංගු කිරීමට ප්‍රධානම හේතුව වූයේ Sunrises Hyderabad හි Wriddhiman Saha සහ Delhi Capitals හි Amit Mishra හට ද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමයි.

ඉන් අනතුරුව රැස්වූ ඉන්දීය ක්‍රිකට් ආයතනය, තරගාවලි සංවිධායකයන් සහ කණ්ඩායම් හිමිකරුවන් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළා. 

තරගාවලිය අවලංගු වන විට තරග 30ක් පවත්වා තිබූ අතර තවත් තරග 31ක් ඉතිරිව තිබුණා. ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ තරගාවලි සංවිධායකයන් මෙම තරග පැවැත්වීම සඳහා සුදුසු කාලසීමාවක් පිළිබඳව සොයමින් සිටිනවා. තරගාවලිය අවලංගු වීමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදු වූ මූල්‍යමය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 340ක් බව පසුගිය දා හෙළිවුනා.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු වීමත් සමඟින් 2021 තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණා. නමුත් මේ වන විට එය අවදානම් මට්ටමකට පැමිණ තිබෙනවා. 

ඉන්දීය ක්‍රිකට් ආයතනයට IPL තරගාවලියේ සෙසු තරග පැවැත්වීමට හැකි දින වකවානු දෙකක් පිළිබඳව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළා. ඒ ලෝක කුසලාන තරගාවලියට පෙර සැප්තැම්බර් මාසය තුල හෝ තරගාවලියට පසු නොවැම්බර් මාසය තුළයි. නමුත් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීම අවිනිශ්චිත වී තිබෙනවා. තරගාවලිය බොහෝ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සිදු වනු ඇති බව මාධ්‍ය වාර්තා කළා.

තවත් ක්‍රිකට් පුවත්: 

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙසු තරග ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී මෙරට ක්‍රීඩාංගණ කීපයක දී පැවැත්වීමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා.

මේ පිළිබඳව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් වැඩබලන සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අදහස් දක්වා සිටියා. 

“ඔව් අපිට අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න අවශ්‍ය සත්කාරකත්වය සපයන්න පුළුවන්. අපි දැක්කා එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් විකල්පයක් ලෙස ඉදිරිපත් වෙලා තියනවා. ඒත් ශ්‍රී ලංකාව බැහැර කරන්න පුළුවන් විකල්පයක් නෙමෙයි” මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා උපුටා දක්වමින් Deccan Chronicle වාර්තා කළා.

“අපි බලාපොරොත්තු වෙනවා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි – අගෝස්තු මාසවල දී පවත්වන්න. ඒ තරගාවලියෙන් පස්සේ සැප්තැම්බර් මාසයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න ක්‍රීඩාංගණ ලබා දෙන්න පුළුවන්.” 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල ආරම්භ වුනා. නමුත් යම් බිඳවැටීමක් නිසා ක්‍රීඩකයන් කීපදෙනෙකු සහ නිලධාරීන් කීපදෙනෙකුටම වයිරසය ආසාදනය වී තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනා.

තරගාවලිය සඳහා එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් රැසක් සහභාගී වී සිටියා. කෙසේ වෙතත් ඉන්දියාව තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් ගමන් අවලංගු කිරීමට රටවල් කීපයක් තීරණය කිරීම නිසා එම ක්‍රීඩකයන්ට නැවත සිට රටවල් බලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව මාධ්‍ය කීපයක් වාර්තා කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස මුල් භාගයේ දී ආරම්භ වූ අතර ඉන් අනතුරුව ඉන්දියාව තුල දරුණු ලෙස වයිරසය පැතිර යාම ආරම්භ වී තිබුණා. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 350,000ක් සහ මරණ 4000 පසුකර යන වටපිටාවක් තුල තරගාවලිය පැවැත්වීමට කෙතරම් සාධාරණ දැයි බොහෝ ඉන්දීය මාධ්‍ය විමසා තිබුණා. 

ඉන්දියාව තුල වයිරසය දරුණු ලෙස පැතිර යාම ආරම්භ වීමත් සමඟින් Adam Zampa, Kane Richardson, Andrew Tye සහ R Ashwin තරගාවලිය අතරතුර ඉවත් වීමට තීරණය කර තිබුණා.

Cricwick ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<