ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයා තෙවැනි වරටත් ඔලිම්පික් අභියස

154

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවතාවක් ඔලිම්පික් වරම් දිනූ බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මෙවර තෙවැනි වරටත් ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අභියස සිටින බව වාර්තා වෙනවා. 

බැඩ්මින්ටන් ක්‍රීඩකයින් වර්ගීකරණයේ ප්‍රථම ස්ථාන 40 අතර සිටින ක්‍රීඩකයන් පමණක් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර නිලූක මේ වන විට එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 41 වැනි ස්ථානයේ පසුවෙනවා.

නිලූක මේ දක්වා ප්‍රසාද ලකුණු 16.060ක් ලබාගෙන ඇති අතර ඔහුට ආසන්නතම ස්ථානයේ හෙවත් 40 වැනි ස්ථානයේ රැඳී සිටින නවසීලන්ත ක්‍රීඩකයා ප්‍රසාද ලකුණු 16.347ක් සමඟින් නිලූකට වඩා ප්‍රසාද ලකුණු 0.287ක් ඉදිරියෙන් පසුවෙනවා.

සිය සහෝදරයා වූ චාමික කරුණාරත්න ඉකුත් ජනවාරි මාසයේ දී කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු නිලූක හට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. එම නිසාවෙන් මාස 04ක පමණ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ද නිලූකට සිදු වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

ඒ නිසාවෙන් පුහුණුවීම් කටයුතු අතරමග නැවතීම සහ ජාතික සංචිතය ද විසුරුවා හැරීම නිසා ඔහුට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා නැවතත් සැලසුම් සකස් කරන්නට සිදු වුනා.

බලාපොරොත්තුව සුන් වූ මාස කිහිපයකට පසු නිලූක සිය ප්‍රථම තරගාවලිය ලෙස පෘතුගාලයේ දී පැවැත්වෙන 56th Portuguese International Championship බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරමින් සිටිනවා.

එම තරගාවලියේ ඔහු සහභාගී වන පළමු තරගය අද (07) මෙරට වේලාවෙන් රාත්‍රි 8.00 පැවැත්වෙන්නේ ශ්‍රේණිගත කිරීමේ 141 වැනි ස්ථානයේ පසුවන අයිස්ලන්ත ක්‍රීඩක Kari Gunnarsson සමඟයි.

තෙවැනි වරටත් ඔලිම්පික් වරම් දිනා ගැනීමට නම් නිලූකට මෙම තරගාවලිය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි සියල්ල ඉතා වැදගත් වෙනවා. මෙම තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වා ටෝකියෝ ඔලිම්පික් වෙත සුදුසුකම් ලබා ගන්නට නිලූකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com සුබ පතනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<